කොළඹ කොටස් හුවමාරුවේ නව සභාපති ධුරයට ඩිල්ෂාන්

කොළඹ කොටස් හුවමාරුවේ නව සභාපති ලෙස ඩිල්ෂාන් විරසේකර මහතා පත්කර තිබේ.

අද(24) සිට බලපැවැත්වෙන පරිදි කොළඹ කොටස් හුවමාරුවෙහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ඩිල්ෂාන් විරසේකර මහතා පත් කර ඇත.

දුමිත් ප්‍රනාන්දු මහතාගේ ධූර කාලය අවසන් වීමෙන් පසුව මෙලෙස ඩිල්ෂාන් විරසේකර මහතා පත් කර ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් කොළඹ කොටස් හුවමාරුව සදහන් කරයි.

විරසේකර මහතා රජයේ සුරැකුම්පත්, ආයතනික මූල්‍ය හා උපදේශන, වත්කම් කළමනාකරණය සහ කොටස් තැරැව්කාර කටයුතු යන ක්ෂේත්‍රවල විවිධ වූ මූල්‍ය සේවා සපයන ප්‍රමුඛතම ආයෝජන බැංකු සමාගමක් වන First Capital Holdings PLC හි අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරියා වේ.

ඔහු දැනට කොළඹ කොටස් හුවමාරුවේ ආයෝජන අනුකමිටුවේ සභාපතිවරයා වන අතර CSE හි අවදානම් සහ විගණන කමිටුවේ මෙන්ම ඩිජිටල්කරණය සහ මධ්‍යම ප්‍රති පක්ෂ පද්ධතිය (CCP) පිළිබඳ CSE/SEC ඒකාබද්ධ කමිටුවලද සේවය කරයි.

බැංකුකරණය, භාණ්ඩාගාර සහ ආයෝජන කළමනාකරණය, ප්‍රාග්ධන වෙළෙඳපොළ උපායමාර්ග සහ ආයතනික මූල්‍ය උපදේශන සේවා ඇතුළු මූල්‍ය සේවාවන්හි විවිධාංගීකරණය වූ විශේෂඥතාවන්ගෙන් සමන්විත, වසර 26කට වැඩි වෘත්තීය ජීවිතයක් සහිත ඩිල්ෂාන් විරසේකර මහතා වෘත්තියෙන් ආයෝජන බැංකුකරුවෙකු වේ.

නෙදර්ලන්ත සංවර්ධන මූල්‍ය සමාගම (FMO), German Investment Corporation (DEG) විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර බැංකු වත්කම් සහ වගකීම් තරගයේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලාංකේය සමාගම් දෙකක් නියෝජනය කරමින් ප්‍රමුඛයා වීමේ සම්මානය හිමිකර ගත් විරසේකර මහතා වත්කම් සහ වගකීම් අවදානම් කළමනාකරණය පිළිබඳ විශේෂඥයෙකි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *