කලාකරුවන්ගේ ගැටලු විසඳීමට පියවර ගන්නවා – අගමැති

විවිධ අපහසුතා මැද නිර්මාණකරණයේ යෙදෙන කලාකරුවන්ගේ ගැටලු පියවරෙන් පියවර විසඳීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. හරවත් නිර්මාණ සඳහා ජාත්‍යන්තරය තුළ ඉඩක් ලබාදීමට තානාපති කාර්යාල හරහා වැඩපිළිවෙලක් සකස් කිරීමට ද අග්‍රාමාත්‍යවරයා එකඟතාව පළ කළා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙම එකඟතාව පළ කළේ නිදහස් කලා සන්ධානයේ කලාකරුවන් පිරිසක් හමු වූ අවස්ථාවේදීයී. අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති මෙම හමුවට ශ්‍රියන්ත මෙන්ඩිස් , සුදත් රෝහණ, ඩග්ලස් සිරිවර්ධන ඇතුළු කලාකරුවන් රැසක් එක්ව සිටියා.නිර්මාණාත්මක ටෙලිනාට්‍ය රස වින්දනය උදෙසා ජාතික සංස්කෘතික නියාමන මණ්ඩලයක් බිහිකිරීම කාලීන අවශ්‍යතාවක් බව කලාකරුවන් මෙහිදී පෙන්වා දුන්නා. අර්ථ විරහිත නිර්මාණ ප්‍රචාරය නියාමනය කරමින් ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුම් සැකසීම නියාමනය කළ යුතු බවයි කලාකරුවන් පැවසුවේ. වේදිකා නාට්‍ය කලාව නැංවීම උදෙසා යෝජනා කිහිපයක්ද මෙහිදී කලාකරුවන් ඉදිරිපත් කළා. නිර්මාණකරණයේදී පසුතල සඳහා භාවිත කරන ස්ථාන අධික මුදල් අයකර බැවින් සහනයක් ලබා දෙන ලෙසයි කලාකරුවන් ඉල්ලා සිටියේ. සිනමා පාසලක් පිහිටුවීම, කලාකරුවන් වෙනුවෙන් ලොතරැයියක් හඳුන්වාදීම,කලාකරු රක්ෂණාවරණය ,විශ්‍රාම දීමනාව වැඩිකිරීම ආදී තවත් කරුණු රැසක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණා.

You May also like

Leave a Reply

Your email address will not be published.