ලෝක ආහාර දිනය 2018 ගෝලීය පෝස්ටර් තරගයෙන් ප්‍රථම ස්ථානය දිනා ගන්නට අපේ රටේ වයස අවුරුදු 5ක පුංචි දරුවෙක් සමත් වුණා. ලෝකයෙන්ම පළමුවැනියා වෙලා අපේ මුළු රටටම ආඩම්බරයක් ගෙනාවේ බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි ලිට්ල් අයින්ස්ටයින් මොන්ටිසෝරි පාසලේ ඉගෙනුම ලබන දිනුග ද සිල්වා පුංචි පුතා.
ඔක්තෝබර් 16 දින පැවැත්වෙන ලෝක ආහාර දිනයට සමගාමීව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් වාර්ෂිකව මේ පෝස්ටර් තරගය පවත්වනවා.
‘අපගේ ක්‍රියාමාර්ග අපගේ අනාගතයයි. 2030 වන විට කුසගින්න තුරන් කළ ලොවක් බිහිකළ හැකියි’ යන තේමාව යටතේ තමයි මෙවර මේ චිත්‍ර තරගය පැවැත්වුණේ.
මේ තේමාව යටතේ පවත්වපු 2018 වසරේ තරගයට රටවල් 118 කින් අයැදුම්පත් 8000කට වඩා ලැබිලා තිබෙනවා. මේ විදියට වයස අවුරුදු 5-8 කාණ්ඩයෙන් රටවල් 118ක් සහභාගි වුණු තරගයකින් අපේ පුංචි දිනුග ප්‍රථම ස්ථානය ලබා ගත්තේ.
පලතුරු, එළවළු සහ ධාන්‍ය බීජ වර්ග වලාකුළුවලින් පොළොවට වැටෙන විදියට තමයි දිනුක මේ පෝස්ටරය නිර්මාණය කරලා තිබුණේ.
ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ FAO නියෝජිත නිනා බ්‍රෑන්ඩ්ස්ට්‍රප් මහත්මිය විසින් පසුගියදා කොළඹ එක්සත් ජාතීන්ගේ පරිශ්‍රයේ පැවැති ත්‍යාග ප්‍රදානෝත්සවයේදී දිනුගට සහතිකය ප්‍රදානය කළාය.
ඒ අවස්ථාවේදී අදහස් දක්වපු නිනා බ්‍රැන්ඩ්ස්ට්‍රප් මහත්මිය පැවැසුවේ ‘මේ ජාත්‍යන්තර තරගයෙන් ජය ලබා ශ්‍රී ලංකාවට ගෞරවයක් අත්කරදීමට දිනුග සමත් වීම ගැන ඔවුන් අතිශයින්ම ආඩම්බර වෙනවා කියලා’
ආහාර හා කෘෂිකර්ම සංවිධානය සෑම රටකම, සියලු සමාජ පසුබිම්වලට අයත් යෞවන පරම්පරාව සතු බලය කෙරෙහි විශ්වාසය තබනවා. යෞවනයන් කියන්නේ හෙට දවසේ වැඩිහිටියන්. පෘථිවිය උරුම වන්නේ ඔවුන්ට. අපි එක්ව වැඩ කළොත් සියලු ආකාරයේ සාගින්න හා මන්දපෝෂණය අවසන් කළ හැකි බව ලෝක ආහාර දිනය ලොවට මතක් කර දෙනවා. දිනුග තමන්ගේ පෝස්ටරය මඟින් මේ පණිවුඩය ප්‍රචලිත කළා. පෝෂ්‍යදායක ආහාර නිෂ්පාදනය හා පාරිභෝජනය කිරීම සාගින්න තුරන් කිරීම සාක්‍ෂාත් කරගන්න උදවු වන බව ඔහු පෙන්වා දුන්නා’ යැයිද ඇය මෙහිදී වැඩිදුරටත් සඳහන් කළාය.
මේ විදියට ලෝකයෙන්ම පළමුවැනියා වෙලා අපේ රටට ආඩම්බරයක් ගෙනාපු පුංචි දිනුග පුතාගේ අම්මාගේ නම චමිලා එදිරිසූරිය. ඇය නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ රැකියාව කරනවා. ඔහුගේ තාත්තා දිනෙත් ප්‍රසන්න. ඔහු පෞද්ගලික ආයතනයක රැකියාව කරනවා. පුංචි දිනුගට වයස අවුරුදු එකහමාරක නංගි කෙනෙක් ඉන්නවා කියලා දිනුගගේ අම්මා අපිත් එක්ක කිව්වා.
පුංචි දිනුගගේ මේ ජයග්‍රහණය ගැන අපි එයාගේ අම්මාත් එක්ක කතා කරපු වෙලාවේ ඇය කිව්වා මේ තරගය ගැන දැනගත්තේ අන්තර්ජාලයෙන් කියලා. ගූගල් නිවුස් ලයින් එකෙන් මේ තරගය ගැන විස්තර දැනගෙන තමයි දිනුග ඇඳපු චිත්‍රයක් මේ පෝස්ටර් තරගයට ඉදිරිපත් කරලා තිබෙන්නේ.
දිනුග ලෝකයෙන්ම පළමුවැනියා වෙලායි කියලා එයාගේ අම්මා දිනුගට කියපු වෙලාවේ දිනුග කිව්වලු ‘මට ෆස්ට් එපා මට ඕනි ටෙන් වෙන්න’ දහය කියන්නේ එකට වඩා ලොකු අංකයක් නිසාලු දිනුග එහෙම කිව්වේ. ඒත් පස්සේ එයාට තේරුම් ගියාලු මේ තරගයෙන් එයා ලෝකයෙන්ම පළමුවැනියා කියලා. දිනුග ලොකු වෙලා කවුරු වෙන්නද කැමැති කියලා අපි ඇහුවා. දිනුග කිව්වා ලොකු වුණාමත් චිත්‍ර අඳිනවා කියලා.
පුංචි දිනුගගේ ජයග්‍රහණය ගැන දිනුගගේ අම්මා වැඩිදුරටත් අපිට මෙහෙම කිව්වා.
‘පුතා තාම මොන්ටිසෝරි යනවා. එයාට අවුරුදු පහයි. ජයග්‍රහණයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි අපි පුතාගේ චිත්‍රය ඉදිරිපත් කළේ ඇත්තටම ලොකු සතුටක් දැනුණා. පුතාගේ චිත්‍රය පළමුවැනියාට තේරුණා කියලා දැනගත්ත වෙලාවේ. නිකම්වත් හිතුවේ නැහැ මෙහෙම ජයග්‍රහණයක් ලැබෙයි කියලා. දෙසැම්බර් 5 වැනිදා අපිට විද්‍යුත් පණිවුඩයක් ආවා පුතාගේ චිත්‍රය අන්තිම චිත්‍ර හැට අතරට තේරුණා කියලා. ඊට පස්සේ ආයෙත් දෙසැම්බර් 12 වැනිදා රෑ විද්‍යුත් පණිවුඩයක් ආවා පුතාගේ චිත්‍රය පළමු වැනියා වුණා කියලා. ඒ වෙලාවේ පුතා නිදාගෙන සිටියේ. ඇත්තටම මට හිතා ගන්න බැරි වුණා ලොකු සතුටක් දැනුණා.
පුතා නිතරම චිත්‍ර අඳිනවා. ගෙදර බිත්ති පුරාම චිත්‍ර ඇඳලා තියෙන්නේ. මේ තරගයට ඉදිරිපත් කරපු චිත්‍රය පුතා ඇන්දේ තරගයට ඉදිරිපත් කරන්න බලාගෙන නෙවෙයි. පුතා මේ චිත්‍රය ඇඳලා තියෙන්නේ එයාටයි එයාගේ නංගිටයි, නේතක කියන පුතාගේ මොන්ටිසෝරියේ යාළුවාටයි. ඒ චිත්‍රයෙන් පෙන්නන්නේ වලාකුළුවලින් එළවළු, පලතුරු වැටෙන දර්ශනයක්. පුතා ඒක ඇඳලා තියෙන්නේ එයාලා තුන්දෙනාට ඕනි කෑම වර්ග කියලා. ෙදාඩම්, ඇපල්, කැරට් වලාකුළුවලින් වැටෙන පින්තූරයක් ඒක.
පස්සේ තරගයට ඉදිරිපත් කරන්න ඒ චිත්‍රය අපි තෝරාගත්තා. ඊට පස්සේ ඒකට අලුතින් එකතු කළා පලතුරු ඇට වර්ගත් බිමට වැටෙන විදියට කළු පාට තිත් එකතු කළා.
හැමදාම තාත්තා වැඩ ඇරිලා ගෙදර එනකම් පුතා කරන්නේ චිත්‍ර අඳින එක. තාත්තා ගෙදර ආවාම තාත්තාට චිත්‍ර පෙන්වනවා.
පුතාගේ තාත්තාටත් චිත්‍ර අඳින්න පුළුවන්. පුතාගේ චිත්‍රය පළමුවැනියා වෙලා කිව්වහම තාත්තාට ලොකු සතුටක් ඇති වුණා.
– උදයන්ති මුණසිංහ –