එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වුණු මෙවර අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ඔස්ට්‍රේලියා සුපිරි පිතිකරු ස්ටීව් ස්මිත්ගේ පිතිකරණ දක්ෂතාවලින් වර්ණවත් වූ බවට කිසිදු විවාදයක් නැහැ. ඒ වගේම වසර 47ක ඉතිහාසය වෙනස් කරමින් අලුබදුන සමව අවසන් වුණා.
කෙසේ වෙතත්, දුර්වල විනිසුරු තීරණ හේතුවෙන් ද මෙම තරගාවලිය ලොව පුරා වඩාත් කතාබහට ලක් වූ බව ද සදහන් කළ යුතුයි.
පළමු ටෙස්ට් තරග තුනේ දී ලබා දුන් දුර්වල විනිසුරු තීරණ පදනම් කර ගනිමින් සිව්වන හා පස්වන තරග සදහා විනිසුරුවන් වෙනස් කිරීමක් සිදු කිරීමට ද සිදු වුණා.
ඒ අනුව සිව්වන හා පස්වන ටෙස්ට් තරග දෙක සදහා ශ්‍රී ලංකාවේ විනිසුරුවන් දෙදෙනෙකු ද නම් කෙරුණු අතර, පිටියේ විනිසුරුවරයෙකු ලෙස කුමාර් ධර්මසේන ද, තුන්වන විනිසුරු ලෙස රුචිර පල්ලියගුරුගේ ද නම් කෙරණා.
පළමු තරග තුනට සාපේක්ෂව විනිසුරු තීරණ බොහෝ දුරට නිවැරැදි වුවත්, ඇතැම් විනිසුරු තීරණ සම්බන්ධයෙන් මේ වන විට යළිත් මතභේදාත්මක තත්ත්වයක් ඇතිව තිබෙනවා.
විශේෂයෙන් මේ වන විට පැවැත්වෙන පස්වන ටෙස්ට් තරගයේ ඔස්ට්‍රේලියා පළමු ඉනිමේ දී ඩේවිඩ් වෝනර්ගේ දැවී යාම සම්බන්ධයෙන් ලබා දුන් තුන්වන විනිසුරුගේ තීන්දුව දැඩි මතභේදයට තුඩු දී තිබෙනවා.
ඩේවිඩ් වෝනර් පළමු ඉනිමේ දී කඩුලු රකින ක්‍රීඩකයා අතට උඩ පන්දුවක් ලබා දී දැවී ගිය බවටයි තුන්වන විනිසුරු රුචිර පල්ලියගුරුගේ තීරණය කළේ.
ඒ පිටියේ විනිසුරු වූ මරායස් එරාස්මස් විසින් ඔහු නොදැවුණු ක්‍රීඩකයෙකු ලෙස ලබා දුන් තීන්දුව ද සංශෝදනය කරමින්.
ඔහු නොදැවුණු බවට පිටියේ විනිසුරු සංඥා කළ ද එම තීරණය එංගලන්තය විසින් විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය (DRS) ඔස්සේ අභියෝගයට ලක් කළ අතර, එහිදී Ultra Edge තාක්ෂණය යොදා ගැනීමේ දී තෙවන විනිසුරුට එය දැවීයාමක් විය හැකි බවට වන සාධාක දැක ගත හැකි වුණා.
ඒ, පන්දුව පිත්ත ආසන්නයට ළගාවත්ම යම් ශබ්දයක් ඇති වන බවට එම තාක්ෂණයෙන් අණාවරණය වීම හේතුවෙන්.
ඒ අනුව තෙවන විනිසුරු විසින් ඔහු දැවී ගිය පිතිකරුවෙකු ලෙස නම් කළ ද, එම ශබ්දය පන්දුව පිත්තට ළගා වීමට පෙර Ultra Edge තාක්ෂණයෙන් පෙන්නුම් කළ බවටයි මේ වන විට අදහස් පල වන්නේ.
ඒ හේතුවෙන් මෙම තාක්ෂණික ක්‍රමවේදය යොදා ගැනීම ද මේ වන විට දැඩි ආන්දෝලනයකට ලක්ව තිබෙනවා.
තෙවැනි විනිසුරුගේ තීරණය නිවැරැදි නොවන බවට පන්දුවේ සහ පිත්තේ හෙවනැල්ල සහිත ඡායාරූප ද යොදා ගනිමින් ද ඇතැමුන් මේ වන විට අදහස් පල කර ඇති බව දක්නට ලැබෙනවා.