අන්තර්ජාලය මගින් මෝටර් රථවාහන ආදායම් බලපත්‍ර ලබාගැනීම වසර 10 ක පටන් ලංකාවේ ක්‍රියාත්මක වුවද තවමත් එම සේවය ලබාගෙන තිබෙන්නේ 3% ක් වැනි සුළු පිරිසක් වී ඇත්තේ එම ක්රමයේ අඩුපාඩු නිසා බව වාර්තා වනවා.
මෝටර් රථ වාහන ආදායම් බලපත්‍ර ඔන්- ලයින් මඟින් ලබාගැනීමේ පහසුකම මෙරට ආරම්භ වූයේ 2009 වර්ෂයේදී වන අතර 2015 වර්ෂය වන විට දිවයින පුරා විසිරී සිටින අයට මෝටර් රථ වාහන ආදායම් බලපත්‍ර අලුතෙන් ලබා ගැනීමටත් පරණ බලපත්‍රය අලුත් කිරීමටත් හැකි E revenue licence හෙවත් ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර ලබාගැනීමේ සේවය ව්‍යාප්ත වුණා.
“සාමාන්‍යයෙන් වාහන ආදායම් බලපත්‍රයක් ගන්න යනවා නම් වාහන ලියාපදිංචි සහතිකය, ආදායම් බලපත්‍රය, රක්ෂණ සහතිකය, දුම් සහතික වගේ ලිය කියවිලි ෆයිල් එකක් ගෙනියන්න ඕනෑ. පෝලිමේ ඉන්න ඕනෑ. හදිස්සියේවත් ලියවිල්ලක මොකක් හරි ප්‍රශ්නයක් තිබුණොත් ආයෙමත් දවසක එන්න ඕනෑ. ඒත් ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව මඟින් විනාඩි 2ක් වැනි සුළු කාලයකින් ගෙදර ඉදලා බලපත්‍රය ගන්න පුළුවන්. කාලය සහ ධනය ඉතිරි වෙනවා. ඒ නිසයි අපි ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර හඳුන්වා දීමේ වැඩපිළිවෙළකට ගියේ.” යනුවෙන් සඳහන් කළේ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ(ICTA) උපදේශක උදය කස්තුරිරත්න මහතායි.
E – Revenu Licence හෙවත් ERL ක්‍රමයට පිවිසීම සඳහා gov.lk වෙත පිවිසිය යුතු අතර ඉන්පසුව erevenulicence යනුවෙන් සටහන් කර ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව සඳහා ඇතුළු විය හැකියි, මෙහිදී ඔබේ විද්‍යුත් තැපෑල හෙවත් ඊ – මේල් ලිපිනය අත්‍යවශ්‍ය වනවා. මෙම ක්‍රමයට ආදායම් බලපත්‍ර ලබාගැනීමේදී වාහනයේ අංකය සහ ආදායම් බලපත්‍ර අංකය පමණක් සටහන් කිරීමට සිදු වනවා.
ඉන්පසුව වාහනය රක්ෂණය කර තිබෙන සමාගම් නම සහ දුම් පරීක්ෂණ ආයතනයේ නම ඉල්ලා සිටිනු ඇති. එවිට එම විස්තර ඇතුළත් කළ යුතුයි. එම අවස්ථාවේදී දුම් පරීක්ෂණ සහතිකය හෝ රක්ෂණ සහතිකය ලබාගෙන නැති නම් ඒ බව පරිගණක තිරයේ දිස් වන අතර එකී තොරතුරු නිවැරදි නම් පමණක් ඉදිරියට යෑමට අවස්ථාව හිමිවනවා.
ERL ක්‍රමයට ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී ගෙවීම් සිදු කළ යුත්තේ ක්‍රෙඩිට් කාඩ්පත් මඟිනි. ඉන්පසුව ඔබේ ඊ- මේල් ලිපිනයට තාවකාලික ආදායම් බලපත්‍රයක් ලැබෙන අතර ඔබ කළ යුත්තේ එහි පිටපත් ලබාගෙන සුරැකිව ළඟ තබා ගැනීම පමණි. ඔබේ ස්ථිර ආදායම් බලපත්‍රය දින කිහිපයක් ඇතුළත තැපෑලෙන් ඔබේ නිවසටම ලැබෙනු ඇති අතර එතෙත් ඔබේ ඊ- මේල් ලිපිනයට එව් තාවකාලික ආදායම් බලපත්‍රය පාවිච්චි කළ හැකියි.
ඔන් – ලයින් කෙරෙහි ඇති බිය සහ විශ්වාසයක් නැතිකම සමඟ ක්‍රෙඩිට් කාඩ්පත් මඟින් ගනුදෙනු නොකරන පිරිස් සමාජයේ බහුලව සිටීමද ERL ක්‍රමය මඟින් වාහන ආදායම් බලපත්‍ර ලබා නොගැනීමට හේතු වී තිබෙනවා.
ERL ක්‍රමයට අනුව වාහන ආදායම් බලපත්‍ර ලබාගත හැක්කේ නිවසේ හෝ කාර්යාලයක තිබෙන පරිගණකයකින් පමණි.
බොහෝ ත්‍රීරෝද රථ රියදුරන් ජංගම දුරකතනයෙන් අන්තර්ජාලයේ සැරිසැරුවද නිවෙස් තුළ පරිගණක නොමැති වීම ERL ක්‍රමයට වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීමට යොමු වීම ඈත් කරන සාධකයක් වී තිබෙනවා.
“අවුරුදු 10 ක් තිස්සේ ERL ක්‍රමය ගැන අවධානය යොමු කළ මෝටර් රථවාහන බලපත්‍ර දෙපාර්තමේන්තුව මෙහි අඩුපාඩු සහ වැඩි දියුණු කළ යුතු කරුණු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව අපි 2020 දී මෙය තවත් වැඩි දියුණු කර හඳුන්වා දෙනවා. අලුත් ක්‍රමයට අනුව වාහනයේ අංකය විතරයි ඇතුළත් කළ යුතු වන්නේ. එවිට මෘදුකාංගය විසින් රක්ෂණ බලපත්‍ර, දුම් සහතික වැනි ඒ වාහනයට අදාළ සියලුම තොරතුරු ලබා දෙනවා. එයින් තවදුරටත් කාලය ඉතිරි කරනවා. ඒ වගේමයි මෙය ඇප් එකක් විදිහට හඳුන්වා දෙනවා. එවිට ජංගම දුරකතනයට ඇප් එක දාගෙන එයින් වාහන ආදායම් බලපත්‍ර අලුත් කර ගන්න පුළුවන්.” යනුවෙන් උපදේශක උදය කස්තුරිරත්න මහතා පවසනවා.
Comments are closed, but trackbacks and pingbacks are open.