බලපත්‍රයක් නොමැතිව අලි පැටවකු සන්තකයේ තබා ගත්තේ යැයි චෝදනා කරමින් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබූ චෝදනාවලින් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (01) නියම කළේය.
කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජයරත්න මහතා විසින් මෙම නඩුවට අදාළළු තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරු විජයරත්න මහතා ප්‍රකාශ කළේ විත්තිකාර ස්වාමීන් වහන්සේට එරෙහිව පැමිණිල්ල විසින් ඉදිරිපත් කර තිබෙන චෝදනා ප්‍රමාණවත් ලෙස ඔප්පු වී නොමැති බවයි.
මෙම අලි පැටවා විත්තිකාර ස්වාමීන්වහන්සේ භාරයේ තිබුණු බවට පැමිණිල්ල විසින් යම් යම් සාක්කි ඉදිරිපත් කලත් ඒවා උන්වහන්සේගේ භාරයේ පැවති බව ඔප්පු කිරීමට ප්‍රමාණවත් නොවන බව විනිසුරුවරයා ප්‍රකාශ කළ අතර මෙම නඩුවට අදාළව එවකට අමාත්‍යවරයෙකු ව සිටි වසන්ත සේනානායක නමැති සාක්ෂිකරු ලබාදුන් සාක්ෂි ද පිළිගත නොහැකි මට්ටමක පවතින බවද විනිසුරුවරයා සඳහන් කළේය.
ඒ අනුව විත්තිකාර ස්වාමීන් වහන්සේට එරෙහිව එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නොමැති හෙයින් උන්වහන්සේ නිදොස් කොට නිදහස් කරන බවයි විනිසුරුවරයා සිය තීන්දුවෙන් සඳහන් කර සිටියේය.
කෙසේ වෙතත් මෙම තීරණයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා අධිකරණයට දන්වා සිටියේය.