අලි ලේ දීලා අලි පැටියෙක් සුව කළ මුළු ලෝකෙවත් නොකළ ඇත් සෙවණෙ සැත්කම

ඉකුත් සතියේ දිනෙක පශු වෛද්‍ය ක්‍ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් ලෝක වාර්තාවක් තැබීමට ශ්‍රී ලාංකේය තරුණ වනජීවී පශු වෛද්‍ය කණ්ඩායමකට හැකියාව ලැබිණි.

ඉතිහාසයේ පළමු වතාවට අලියකුගෙන් අලියකුට ලේ ලබාදෙමින් අති සාර්ථක රුධිර පාරවිලයනයක් හරහා මරණාසන්නව සිටි අලියකුගේ ජීවිතය බේරා ගැනීමට හැකි වීම එම ලෝක වාර්තාවයි.

මින් පෙර ලංකාවේ මෙන්ම විදේශීය රටවල් ගණනාවකම අලියකුගෙන් අලියකුට ලේ ලබාදීමට උත්සාහ කළ අවස්ථා කිහිපයක් වාර්තා වී ඇතත් ඒ සෑම රුධිර පාරවිලයනයක්ම අසාර්ථක වී රෝගී අලියා මියගොස් තිබිණි.

ලේ ලබානොදුනහොත් සිදුවන අනිවාර්යය මරණයක එළිපත්තටම පැමිණ සිටි වයස අවුරුදු දෙකක් පමණ වූ අලි පැටවකුට තවත් වැඩිමහල් අලි පැටවකුගේ ලේ ලබාදෙමින් සිදුකළ සාර්ථක රුධිර පාරවිලයනයක් ඔස්සේ රෝගී සතකුගේ ජීවිතයක් බේරා ගැනීමේ මෙම ප්‍රාතිහාර්ය පා ඇත්තේ උඩවලව ඇත් අතුරු සෙවණෙහි සේවයේ නියුතු මාලක අබේවර්ධන, කලනි සමරකෝන් සහ සශිකලා ගමගේ ඇතුළු තරුණ පශු වෛද්‍ය කණ්ඩායමකි. එහි විශේෂත්වය වන්නේ එවැනි රුධිර පාරවිලයනයක් කිරීමට අවශ්‍ය කිසිදු පහසුකමක් නොතිබූ පරිසරයක සිටිමින් එම අභියෝගය ජය ගැනීමට ඔවුන්ට හැකිවීමයි.

ඉකුත් 2018 වසරේ අප්‍රේල් මස වැලිකන්ද ප්‍රදේශයේ තුවාල ලබා සිටින ඇතින්නියක පිළිබඳව තොරතුරක් වනජීවී නිලධාරීන්ට දැන ගැනීමට ලැබිණි. ඒ අනුව එහි ගිය නිලධාරීන්ට දැක ගැනීමට හැකි වී ඇත්තේ වෙඩි වැදී මියගොස් සිටි ඇතින්නක් සහ ඇගේ තුරුලට වී බියෙන් ගැහෙමින් සිටි අලි පැංචෙකි. මවගේ මරණ පරීක්‍ෂණය සිදුකළ නිලධාරීන් වයස මාස අටක් පමණ වූ අලි පැටවා ගිරිතලේ සත්ත්ව රෝහලට රැගෙනවිත් භාර කෙරිණි. සෞඛ්‍ය සම්පන්නව සිටියද මාස හතරක පමණ කාලයක් එහි කල්ගත කළ අලි පැටවාගේ ඊළඟ වාසස්ථානය වූයේ උඩවලව ඇත් අතුරු සෙවණයි.

උඩවලව ඇත් අතුරු සෙවණ යනු මවගෙන් මඟහැරී හෝ කැලයේ අතරමං වී සිටියදී හමුවන අලි පැටවුන් රැකබලා ගනිමින් පුනරුත්ථාපනය කර වැඩිවියට එළැඹීමෙන් අනතුරුව නැවත වනයට මුදාහරින රාජ්‍ය ආයතනයකි. උඩවලව ජාතික වනෝද්‍යානයට සහ උඩවලව ජලාශයට යාබදව අක්කර දෙසීයක පමණ වපසරයකින් යුත් භූමි භාගයක පිහිටුවා ඇති ඇත් අතුරු සෙවණේ අයිතිය ඇත්තේ වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවටයි.

ජේ‍යෂ්ඨ වනජීවී පශු වෛද්‍ය විජිත පෙරේරා මහතාගේ පරිපාලනයෙන් යුත් ඇත් අතුරු සෙවණ පශු වෛද්‍යවරුන් සිවුදෙනකු සහ වනජීවී නිලධාරීන් පනස් පස් දෙනකුගෙන් සැදුම්ලත් කාර්ය මණ්ඩලයක් මඟින් පාලනය වන ආයතනයක් වන අතර මේ වනවිට එහි අලි පැටවුන් හැටපස් දෙනකු රැකවරණය ලබමින් ඇතිදැඩි වේ.

වන සත්ත්ව පුනරුත්ථාපන ඒකකයකින්, සත්ත්ව රෝහලකින්, සුවිසල් වූ නිදහස් අලි ගාලකින්, තොරතුරු මධ්‍යස්ථානයකින්, කාර්යාල සංකීර්ණයකින් සහ සේවක නිවාසවලින් සමන්විත උඩවලව ඇත් අතුරු සෙවණ වල් අලි පැටවුන් පුනරුත්ථාපනය කිරීම සඳහා පිහිටුවන ලද ලොව ප්‍රථම ආයතනයයි.

වසර 2018 වැලිකන්ද ප්‍රදේශයේ සිදුවූ මවගේ අකල් මරණින් පසු ගිරිතලේ සත්ත්ව රෝහලට රැගෙන ආ අලි පැටවා ඇත් අතුරු සෙවණට ගෙනෙන්නේ එම වසරේම අගෝස්තු මාසයේදීය. එහිදී පැටවා ලියාපදිංචි වන්නේ “රවී” නමිනි. මාස කිහිපයක් ගත වෙද්දී රවී සෙසු අලි පැටවුන් අතර දඟකාරයෙකුත් සේවක කාර්ය මණ්ඩලය අතර හුරතලයෙකුත් බවට පත්විය. ඇත් අතුරු සෙවණෙහි සේවයේ නියුතු සශිකලා ගමගේ නම් වූ පශු වෛද්‍යවරියට ඌ දරුවකු තරමටම සමීප විය. මවගෙන් නොලද ආදරය, උණුසුම සොයමින් ඌ ඇයට ළංවෙන ආකාරය සෙස්සන්ගේද දයාබරිත සොම්නසටම හේතු විය.

මෙලෙස කෙළිදෙළෙන් දුව පැන ඇවිදිමින් සැමගේ ආදරයට පත්ව සිටි රවී ඉකුත් දිනෙක හිටිවනම රෝගී තත්ත්වයක් පෙන්වීය. වයස අවුරුදු තුන පමණ වනතුරුම අලි පැටවුන්ගේ ප්‍රධාන ආහාරය කිරිය. වයස අවුරුදු දෙකක් වූ රවී මුලින්ම අනෙකුත් ආහාරත් පසුව කිරි බීමත් නවතා දැමීය. උගේ මලපහවල තිබී කොකු පණු බිත්තර හමුවූ බැවින් ඒ සඳහා ප්‍රතිකාර කෙරිණි. එහෙත් එන්න එන්නම දුර්වල වූ සතාගේ තත්ත්වය බරපතළ වීම හේතුවෙන් ඌට සේලයින් පවා ලබාදීමට සිදුවිය. නමුත් රවීගේ තත්ත්වය එයින්ද යහපත් නොවූ බැවින් වෛද්‍යවරු උගේ ලේ සාම්පල ලබාගනිමින් පරීක්‍ෂණ කළහ. එහිදී හෙළි වූයේ පැටවාගේ තිබෙන්නේ සාමාන්‍යයෙන් අලියකුගේ ලේවල ඒකකයක තිබිය යුතු අවම රුධිර සෛල ප්‍රතිශතයටත් වඩා බෙහෙවින්ම අඩු සෛල ප්‍රතිශතයක් බවයි. එනම් අඩු තරමින් සෛල ප්‍රතිශතය 35%වත් තිබිය යුතු වුවද පැටවාගේ ලේවල සෛල ප්‍රතිශතය වූයේ 7%කි. වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ජේ‍යෂ්ඨතම පශු වෛද්‍යවරයකුගෙන් මේ පිළිබඳව සිදුකළ විමසීමකදී ඔවුන්ට දැන ගැනීමට ලැබී ඇත්තේ සතාගේ ජීවිතය රැඳී ඇත්තේ තවත් පැය විසි හතරකට නොඅඩු කාලයක් බවයි.

රවී නමැති මෙම අලි පැටවාව මහත් වූ සෙනෙහසකින් යුතුව ඇති දැඩි කළ පශු වෛද්‍යවරියක වූ සශිකලා ගමගේ මෙනෙවිය මෙහිදී ඉකි ගසමින් හඬන්නට පටන් ගත්තාය.

එම අවස්ථාවේදී ඇත් අතුරු සෙවණ භාරව සිටින ජේ‍යෂ්ඨ පශුවෛද්‍ය විජිත පෙරේරා මහතා නිවාඩු ගොස් සිටි අතර ඒ වනවිට එහි සේවයේ යෙදී සිටියේ මාලක අබේවර්ධන, කලණී සමරකෝන්, සශිකලා ගමගේ යන පශු වෛද්‍යවරයාත් පශුවෛද්‍යවරියන් දෙදෙනාත්ය. ඔවුන් තිදෙනාම අඩු පළපුරුද්දකින් යුත් නවකයන් වූ නමුත් දැඩි උනන්දුවකින් සහ කැපවීමකින් කටයුතු කරන දක්‍ෂයන් බව සඳහන් කළ යුතුමය.

“අනේ අපට මේ සතාව බේර ගන්න මුකුත්ම කරන්න බැරිද?” වෛද්‍ය සශිකලා විමසුවාය.

ඊට පිළිතුරු දුන් වෛද්‍ය මාලක අබේවර්ධන මහතා කියා සිටියේ,

“කරනවා නම් කරන්න තියෙන එකම දේ ලේ දෙන එකයි. ඒත් කවුරුවත් කොහේවත් අලියකුගෙන් අලියකුට ලේ දෙන්න ගිහින් නැහැ. ඒක කරන්නේ නැහැ.”

වෛද්‍ය සශිකලා ගමගේ මෙනෙවියගේ පෙරැත්තය නිසාම මාලක අබේවර්ධන මහතා ලංකාවේ සිටින ජේ‍යෂ්ඨතම සහ වැඩිම අත්දැකීම් ඇති පශු වෛද්‍යවරයකු වූ ඩී.එස්. කොඩිකාර මහතා අමතමින් උපදෙස් පැතුවේය. එහිදී කොඩිකාර මහතා මෙසේ කියා සිටියේය.

“බල්ලෙක්ගෙන් බල්ලකුට පූසෙක්ගෙන් පූසකුට ලේ දීපු අවස්ථා තිබෙනවා. ඒ උන්ගේ රුධිර ගණ හඳුනාගෙන තිබෙන නිසයි. හැබැයි ඒත් එක වරක් පමණයි දෙන්න පුළුවන්. උන්ගේ ඇඟේ ආගන්තුක ලේවලට එරෙහිව ගොඩනැගෙන ප්‍රතිදේහ නිසා දෙපාරක් එක සතුකට ලේ දෙන්න බැහැ. ඒ වුණාට කවදාවත් අලියෙක්ගෙන් අලියකුට නම් ලේ දෙන්න කොහෙත්ම බැහැ. අලින්ගේ රුධිර ගණ කීයක් තිබෙනවාද ලේ වර්ග මොනවාද කියලා තවම හඳුනා ගැනීමක්වත් කරලා නෑනේ.”

වෛද්‍ය කොඩිකාර මහතාගේ කතාව සත්‍යයකි. අලින්ගේ රුධිර ගණ නැති නම් ලේවල වර්ග හඳුනා ගැනීමක් කර නැති නිසා නොගැළපෙන රුධිරයක් රෝගී අලියකුට ලබාදීමෙන් ඇතිවන සංකූලතා සහ රුධිර කැටිගැසීම් නිසා ක්‍ෂණිකවම උෟ මරණයට පත්වේ.

මේ අතර සත්ත්ව රෝහලේ සිටි අලි පැටවා අසාධ්‍ය තත්ත්වයකට පත්වීම නිසා එහි ඇති දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කෙරිණි. ඇත් අතුරු සෙවණේ සිටින තරුණ පශු වෛද්‍යවරුන් තිදෙනා අතර දැන් වාදයකි.

“මේ පැටියා තව දවසකින් විතර කොහොමත් මැරෙනවානේ. ඉතින් අපි ලේ දුන්නොත් මරණය ටිකක් ඉක්මන් වෙයි. එච්චරනේ. අපි ලේ අරගන්න සතාට මුකුත් වෙන්නේ නැහැනේ.”

කවුරුන් කෙසේ කීවත් අවසානයේදී මේ වෛද්‍යරු තිදෙනා අලි පැටවාට ලේ දීමට තීරණය කළහ. එම තීරණය පශු වෛද්‍ය ඉතිහාසයේ පෙරළියක් කරන සිදුවීමක් මෙන්ම ලෝක වාර්තාවක් වනු ඇතැයි ඔවුන්ට හැඟීමක් නොතිබිණි.

“අපිට පුළුවන් හැටියට ලෙඩ පැටියාගේ ලේවලට ගැළපීමක් කරලම ලේ දෙන්න උත්සාහ කරමු. ඒත් අපට ඒක කරන්න උපකරණ කෝ. ඒ විතරක් නෙවෙයි ලේ ගන්නවත් ලේ දෙන්නවත් අවශ්‍ය පහසුකම් අපට නැහැනේ” ඒ වෛද්‍ය මාලකගේ හඬයි. පැය කිහිපයක් ඇතුළත ජයගත යුතු අභියෝග රැසක් ඔවුන් ඉදිරියේ විය.

අලින්ගේ රුධිර ගණ (ලේ වර්ග) හඳුනාගෙන නැති වුවද ලබාදෙන ලේ, රෝගී අලියාගේ සිරුරින් ප්‍රතික්‍ෂේප වන්නේ දැයි පරීක්‍ෂා කිරීමට ඔවුහු කල්පනා කළහ. රෝගී අලියාගේ රුධිරයේ ඇති ප්ලාස්මාව වෙන් කර ලබාගත යුතුය. එයට ලේ ප්‍රදානය කරන අලියාගේ රුධිරයෙන් වෙන් කර ලබාගන්නා රුධිර සෛල මුසුකර සිදුවන ප්‍රතික්‍රියාව නිරීක්‍ෂණය කළ යුතුය. රුධිරයෙන් ප්ලාස්මාව වෙන් කර ගැනීමට හෝ රුධිර සෛල වෙන් කර ගැනීමට අවශ්‍ය උපකරණ ඔවුන් සතු නොවීය.

ඇත් අතුරු සෙවණ විද්‍යාගාරයෙහි ඇති උපකරණ කිහිපයක් ලහිලහියේම එයට අවශ්‍ය පරිදි වෙනස් කරමින් අලුත් උපකරණයක් නිර්මාණය කිරීම ආරම්භ විය. ඒ සඳහා එහි කාර්ය මණ්ඩලයේ පිරිසක් පැය ගණනාවක් අඛණ්ඩව වෙහෙසුණහ. ඊට අමතරව ඇඹිලිපිටිය මහ රෝහලෙහි ස්ථාපිත කොට තිබෙන ලේ බැංකුවෙහි සහාය සහ තාක්‍ෂණ උපදෙස් ඔවුන්ට බෙහෙවින්ම ප්‍රයෝජනවත් විය. ජේ‍යෂ්ඨ පශු වෛද්‍ය ඩී.එස්. කොඩිකාර මහතාගේ උපදෙස් මත සහ වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ සෞඛ්‍ය තාරක ප්‍රසාද් සහ විජිත පෙරේරා යන මහත්වරුන්ගේ සම්බන්ධීකරණයෙන් මෙම තරුණ වෛද්‍ය කණ්ඩායම අතගසා තිබුණේ අතිශයින්ම බැරෑරුම් කාර්යයකටය.

පැය කිහිපයක් ඇතුළත රුධිරයේ ඇති රුධිර ප්ලාස්මාව සහ රුධිර සෛල වෙන් කරගත හැකි උපකරණයක් නිපදවා ගැනීමට හැකි වීමද එක්තරා අන්දමක විශ්වකර්ම වැඩකි.

පසුව රෝගී පැටවාගේ රුධිරය ලබාගත්තේ ඌ ඔෟෂධ මඟින් අඩ නින්දකට යොමු කර රෙදි කඩකින් උගේ දෙනෙත්ද වසා දැමීමෙන් අනතුරුවය. ලේ ලබාගැනීමත් ලේ දීමත් සිදු කරන්නේ අලියාගේ කන්පෙතිවල ඇති රුධිරවාහිනී උපයෝගි කර ගනිමිනි. අලියාගේ රුධිරවාහිනී පාදා ගත හැකි පහසුම ස්ථානය කන්පෙතිය.

රවී නමැති රෝගී අලි පැටවාගේ රුධිරයෙන් ලබාගත් ප්ලාස්මාවට ඇත් අතුරු සෙවණෙන්ම තෝරා ගත් සෞඛ්‍ය සම්පන්න අලි පැටවකුගේ රුධිරයෙන් ලබාගත් රුධිර සෛල පර්යේෂණ වීදුරු පෙත්තකට දමා එකට මුසුකොට විනාඩි විස්සක පමණ කාලයක් තැබීමෙන් අනතුරුව එය අන්වීක්‍ෂීය පරීක්‍ෂාවකට ලක්කළහ.

“මේ ලේ එක කැටි ගැහෙනවා. උගෙන් ලේ ගන්න එපා” අන්වීක්‍ෂීය පරීක්ෂණය සිදුකළ නිලධාරියා හඬ නඟා කෑගැසීය.

“එහෙනම් ඉක්මන් කරන්න අපි තව හොඳ අලියකුගෙන් ලේ අරගෙන චෙක් කරලා බලමු” වෛද්‍ය මාලක පිරිස දිරිමත් කරමින් පැවැසුවේය.

එක් අලියකුගේ ලේ ලබාගනිමින් පරීක්‍ෂා කොට ගැළපීමට පැය භාගයකවත් කාලයක් ගතවේ.

ඒ ආකාරයටම දෙවැනි තුන්වැනි සහ සිවුවැනියට තෝරා ගත් අලි පැටවුන්ගේ රුධිරයද රෝගී පැටවාගේ රුධිරය සමඟ මුසුකොට පරීක්‍ෂා කිරීමේදී කැටිගැසී නොගැළපෙන තත්ත්වයක් පෙන්නුම් කරද්දී සියල්ලන්ගේම මුහුණ මැලවී ගිය ආකාරයක් දිස්විය. ඒ වනවිට එම මෙහෙයුම ආරම්භ කොට පැය දහසයකට වැඩි කාලයක් ඉකුත්ව ගොස් තිබූ අතර දැඩිසත්කාර ඒකකයේ සිටි අලි පැටවා උගේ අවසන් හුස්ම පොද වාතලයට එක් කිරීමට තතනමින් සිටියේය. වෛද්‍ය සශිකලාගේ දෙනෙත් නැවත කඳුළින් තෙත් වී ගොසිනි.

“අපි තව එක අලියකුගේ ලේ අරගෙන බලමුද?”

වෛද්‍ය මාලකගේ ඉල්ලීමට අවුරුදු හතක් පමණ වූ රැළේ සිටි වයසින් වැඩිම නාමල් නමැති අලි පැටවාගේ රුධිරයද ගැළපීමේ පරීක්‍ෂණයට යොමු කෙරිණි.

මේ සෑම අවස්ථාවකදීම ඔෟෂධ මඟින් අලි පැටවුන් අඩ නින්දකට යොමු කොට දෙනෙත්ද වසා දමා ඉතා ප්‍රවේශමෙන් ලේ ලබා ගත් අතර එය ඔෟෂධයක් එන්නත් කරනවා වැනි සරල කටයුත්තක් නොවීය.

තවත් පැය භාගයක පමණ කාලයක් ගත විය. අන්වීක්‍ෂීය පරීක්‍ෂණයෙහි යෙදී සිටි නිලධාරියා එකවරම අතක් ඔසවා ප්‍රීතියෙන් කෑගැසීය.

“මේක මැච් වෙනවා. මේක මැච් වෙනවා, මේක හරියටම හරි”

ඒ සමඟම මැලවී ගොස් තිබූ මුහුණවලට නව ජීවයක් ගලා ආවේය. පිරිස නැවත කඩිසර විය. විශේෂ රුධිර බහාලුම් හතරකට ලබාගත් නාමල්ගේ රුධිරය රවී නමැති අලි පැටවාට ලබාදීම ආරම්භ විය.

ඉන්පසු රවීට විටමින් වර්ග කිහිපයක්ද ඇටමිඳුළුවල ස්වාභාවිකව සිදුවන රුධිර සෛල නිපදවීමේ ක්‍රියාවලිය උත්තේජනය කිරීමේ හෝමෝනයක්ද ලබාදුන්හ. එදින උදේ අටට ආරම්භ වූ මෙහෙයුම නිමාවට පත්වූයේ පසුදින අලුයම දෙකට පමණ වූ අතර පැය දහඅටකට අධික කාලයක් එම කාර්ය මණ්ඩලය කුසට නිසි අහරක් පවා නොලබාම වෙහෙසී තිබිණි.

රුධිරය ලබාදී පැය විසි හතරක් ඉක්ම ගිය පසු සිදුකළ පර්යේෂණයේදී පැටවාගේ රුධිර සෛල ප්‍රතිශතය ක්‍රම ක්‍රමයෙන් ඉහළ යන ආකාරයක් පෙන්නුම් කළේය. පසුව තවත් සති දෙකක පමණ කාලයක් එලෙසම දැඩිසත්කාර ඒකකයේ රඳවා තැබූ අලි පැටවා ඉකුත් සතියේදී වෛද්‍යවරුන් විසින් නිදහස් අලි ගාලට මුදාහැරියේ ලොවක් ජයගත් ආකාරයේ හැඟීමකින් යුතුවය. ඔවුන්ට ඇත්තේ ඒ තෘප්තිය පමණි.

සපුමල් ජයසේන

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *