මැදපෙරදිග ලාංකිකයන්ට ලංකා රජයෙන් හදිසි පණිවිඩයක්.. ගුවන් ගමන් බලපත්‍රය සූදානම් කර ළඟම තබා ගන්න

මැදපෙරදිග කලාපයේ රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට සුපරීක්ෂාකාරී වන ලෙසට උපදෙස් ලබා දෙන්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා මැදපෙරදිග ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානීන්ට දැනුම් දී තිබෙනවා.

මෙම උපදෙස් ඇතුළත් විශේෂ චක්‍රලේඛයක් විදේශ අමාත්‍යාංශ ලේකම්වරයා විසින් මැදපෙරදිග කලාපයේ රටවල් 12 ක පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල සහ එක් කොන්සියුලර් කාර්යාලය වෙත යවමින් මේ බව දැනුම් දී තිබුණා.

ඒ අනුව මෙම චක්‍රලේඛය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය , බහරේනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ඉරානයේ ටෙහෙරාන් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ඉරාකයේ බැග්ඩෑඩ් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ඊශ්‍රායල් ටෙල්අවිව් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ,ජෝර්දානයේ අම්මාන් තානාපති කාර්යාලය , කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය , ලෙබනනයේ බීරුට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය , ඕමානයේ මස්කට් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය , පලස්තීන ශ්‍රී ලංකා තානාපති කාර්යාලය , කටාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ සෞදියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය යන ශ්‍රී ලංකා දූත මණ්ඩලය ප්‍රධානීන් වෙත ෆැක්ස් පණිවිඩ මාර්ගයෙන් යවමින් දැනුම් දීම කර තිබෙනවා.

එම චක්‍රලේඛය මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ මැදපෙරදිග කලාපයේ පවතින ආරක්ෂක තත්ත්වය සැළකිල්ලට ගෙන මැදපෙරදිග කලාපයේ රටවල්වල වෙසෙන ලාංකිකයින් සුපරික්ෂාකාරී වන ලෙසත් , ජනතාව බහුලව රැස්වන ස්ථාන මඟහරින ලෙසට උපදෙස් ලබා දෙන ලෙසයි.

තවද තම ගුවන් ගමන් බලපත්‍රය සූදානම් කර ළඟ තබා ගන්නා ලෙසත් ලාංකිකයින්ට දැනුම් දෙන ලෙස එම චක්‍රලේඛය මගින් විදේශ අමාත්‍යාංශ ලේකම්වරයා දූත මණ්ඩල ප්‍රධානීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

මෙම උපදෙස් අනුව ක්‍රියාත්මක වෙමින් සෞදියේ රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා කුවේටයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල යප්‍රධානීන් ඊයේ (9) අලුයම සිට විදෙස්ගත ලාංකිකයින් අතර වඩාත් ජනප්‍රිය ෆේස්බුක් වැනි සමාජ මාධ්‍යයන් හි පවත්වාගෙන යන නිල ගිණුම්වල ත්‍රෛභාෂා වලින් අදාළ උපදෙස් අඩංගු නිවේදනයක් නිකුත් කර තිබුණා.

මේ වන විට ලක්ෂ 10 කට ආසන්න ලාංකික ශ්‍රමිකයින් පිරිසක් මැදපෙරදිග කලාපයේ සිටින අතර ඉන් වැඩිම පිරිසක් සිටිනුයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ යැයි විදේශ අමාත්‍යාංශ ආරංචි මාර්ග කියා සිටිනවා.

එරට සිටින ලාංකිකයින් සංඛ්‍යාව ලක්ෂ දෙකකි. ඊට අමතරව කටාරයේ ලාංකිකයින් 180,000ක්ද, සෞදියේ 137,000ක්ද , කුවේටයේ 120,000 ක්ද , ඕමානයේ 30,000 ක් ද බහරේනයේ 8000 ක් ද වශයෙන් සිටින අතර සෙසු පිරිස කලාපයේ අනෙක් රටවල්වල සිටිනවා.

You May also like

Comments are closed, but trackbacks and pingbacks are open.