ජේසන් රෝයිට දඬුවම් ලැබුනේ ධර්මසේනගේ වරදින්ද?

ඊයේ පැවති ලෝක කුසලාන දෙවැනි අවසන් පූර්ව තරගයේදී විනිසුරු තීරණවලට එරෙහිව ප්‍රතිචාර දැක්වීම හේතුවෙන් එංගලන්ත සුපිරි ආරම්භක පිතිකරු ජේසන් රෝයිට දඬුවම් කිරීමට තරග තීරකවරයා තීරණය කර තිබෙනවා. ඒ අනුව ඊයේ තරගයට අදාල තරග මුදලින් 30% ක මුදලක් දඩ ලෙස ගෙවීමට ජේසන් රෝයිට සිදුවන අතර ඊට අමතරව ඔහුට ඩිමෙරිට් ලකුණු දෙකක් ලබා දීමට ද තීරණය කර තිබෙනවා.

‍කෙසේ වෙතත් මෙම දඬුවම හේතුවෙන් ජේසන් රෝයිට අවසන් තරගය සඳහා සහභාගිවීමට කිසිදු බාධාවක් නොමැත.

පැට් කමින්ස් එංගලන්ත ඉනිමේ 20 වැනි පන්දුවාරය ක්‍රියාත්මක ක‍ළ අතර එම පන්දුවාරයේ සිව්වැනි පන්දුව රෝගියේ පා ඉන්න දෙසින් ඇදී ගියේ බවුන්සර් පන්දුවක් ලෙසයි. එම පන්දුවට රෝයි පුල් පහරක් එල්ල කළ අතර කෙසේ වෙතත් පන්දුව කඩුලු රකින ක්‍රීඩක ඇලෙක්ස් කේරි වෙත ඇදී ගියේය. පන්දුව සුරැකිව රැකගත් ‍කේරි සහ ඕස්‍ට්‍රේලියානු පන්දු රකින්නන් දැවීයාමක් සඳහා ඉල්ලීමක් කළ අතර ප්‍රධාන විනිසුරු ලෙස කටයුතු කළ කුමාර ධර්මසේන, ජේසන් රෝයි දැවීගිය ක්‍රීඩකයෙකු බවට සංඥා කළේය.

කෙසේ වෙතත් එම පන්දුව රෝයිගේ පිත්තේ හෝ අත් අවරණවල වැදී නොගිය පන්දුවක් බව පුනරූපනවලින් පැහැදිලිව පෙනිණි.

ඒ වනවිට සාර්ථකව පන්දුවට පහර දෙමින් පන්දු 65 කදී ලකුණු 85 ක් රැස් කරගෙන සිටි ජේසන් රෝයි විනිසුරුගේ තීරණයට එකඟ නොවූ අතර ඊට එරෙහිව ඔහු ප්‍රතිචාර දැක්වීය. ඔහු ‘that’s f***ing embarrassing’ යනුවෙන් පවසන ආකාරය කඩුල්ල අසල ඇති මයික්‍ර‍ෆෝනය හරහා ශ්‍රවණය වූ අතර රෝයිට දඬුවම් කිරීම සඳහා මෙය ප්‍රධාන සාධකය වී තිබේ.

ජේසන් රෝයිට මීට පෙර ඩිමෙරිට් ලකුණු ලැබී නොමැති නිසා තරග තහනමක් පනවා නොමැති අතර ඔහුට තවත් ඩිමෙරිට් ලකුණු දෙකක් එකතු වුවහොත් ටෙස්ට් තරගයක් හෝ එක්දින/T-20 තරග දෙකක් ‍හෝ තහනම් වනු ඇත.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *