රටවල් ගණනාවක ආර්ථීකයන් වැ‍ටෙද්දී ඉන්දියාව ගොඩ ගිය හැටි

කොවිඩ්-19 වසංගතය සහ යුක්රේන යුද්ධය ලොව දියුණු ආර්ථිකයන්ට මෙන්ම අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවලට එකසේ බලපාන ලද බව නොරහසකි.

එහෙත් ශක්තිමත් දේශපාලන නායකත්වයක් යටතේ ඉන්දියාව අඛණ්ඩව ශක්තිමත් ආර්ථික මූලධර්ම අනුගමන කිරීම හේතුවෙන් මෙම ගෝලීය අවිනිශ්චිත කාල වකවානුවේදී දීප්තිමත් ස්ථානයක පැවතීම එක් අතකින් පුදුම සහගතය. දේශපාලන නායකත්වය ශක්තිමත්භාවයට අමතරව, ප්‍රතිසංස්කරණ සිදුකිරීමේදී පසුපසට ගමන් නොකිරීම සහ සුබසාධන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම සඳහා පවතින දෙගිඩියාවකින් තොර බව විසින් සමස්ත ලෝකයේම ඇස් මේ වන විට ඉන්දියාව දෙසට යොමුව තිබේ.

ඉන්දිය මුදල් අමාත්‍යංශය විසින් 2022 සැප්තැම්බර් මාසය සඳහා නිකුත් කරන ලද නවතම වාර්තාවේ සඳහන් ආකාරයට 2022-23 මූල්‍ය වර්ෂයේ අඩක් ගතවෙද්දී ඉන්දියාව විසින් සිය ආර්ථික වර්ධනය කෙරෙහි දැක්විය යුතුව ඇති අවධානය සමස්ත ලෝකය සිය වර්ධනය කෙරෙහි දැක්විය යුතුව ඇති දැඩි අවධානයට වඩා හරි අඩකින් අඩුය. එහි අර්ථය වන්නේ ඉන්දීය ආර්ථිකය හමුවේ පවතින අවදානම්සහගත තත්වයන් ලෝකයට වඩා අඩකින් අඩු බවය. PMI සංයුක්ත දර්ශකය මගින් මනිනු ලබන පරිදි, 2022 අප්‍රේල්-සැප්තැම්බර් කාලය තුළ ලෝකයේ ආර්ථික ක්‍රියාකාරකම්වල මට්ටම ඒකක 51ක් වන විට ඉන්දියාවේ එම අගය ඒකක 56.7ක් වශයෙන් වැඩි අගයක පැවැතිණි.

එසේම ගෙවීගිය මාස හය තුළ ඉන්දියාවේ උද්ධමනය 7.2% ක් වූ අතර එය ලෝක උද්ධමනය වන 8% ට වඩා අඩු අගයක් ගත්තේය. එම කාලසීමාව තුළදී, ඉන්දීය රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 5.4% කින් අවප්‍රමාණය වූ නමුත් ඊට සාපේක්ෂව ලොව ප්‍රධාන මුදල් ඒකක හයක් ඩොලරයට සාපේක්ෂව 8.9%කින් අවප්‍රමාණ වී තිබිණි. එලෙස ඉන්දීය රුපියලට වඩා වැඩි අගයකින් අවප්‍රමාණ වී ඇති ප්‍රබල මුදල් ඒකක හය වන්නේ යුරෝ, එක්සත් රාජධානියේ පවුම්, කැනේඩියානු ඩොලර්, ජපන් යෙන්, ස්වීඩන් ක්‍රෝනර් සහ ස්විස් ෆ්‍රෑන්ක් ය.

දියුණු ආර්ථිකයන් ඇතුළු ප්‍රධාන ලොව රටවල් මේ මොහොතේ විශාල ප්‍රශ්නයකට මුහුණ දී සිටින බවට කිසිදු සැකයක් නැත. කොවිඩ් වසංගතයෙන් අනතුරුව, වහාම පැමිණි යුක්රේන යුද්ධය හේතුවෙන් රුසියාවට පනවා ඇති සම්බාධක නිසා ලොව පුරා සැපයුම්දාම බිඳවැටී ඇත. විශේෂයෙන් රුසියාවෙන් සිදුකෙරෙන ඉන්ධන සහ බලශක්ති සැපයුම බිඳවැටීම යුරෝපයේ සමහර සංවර්ධිත රටවල් ඇතුළු බොහෝ දුප්පත් රටවලට දැරිය නොහැකි අර්බුදයන් නිර්මණය කරදී තිබේ. එහෙත් ඉන්දියාව සිය ශක්තිමත් ආර්ථික මුලධර්මයන් හේතුවෙන් යුක්රේන යුධයෙන් මෙතෙක් සෘජුව පිඩාවට පත්ව නැත. ඒ වෙනුවට සෘජු ඉන්ධන සහ ගල්අඟුරු සැපයුම් සඳහා රුසියාව සමග නව ගිවිසුම්වලට එළඹීම මගින් ලොව බොහෝ දියුණු වෙනත් රටවලට වඩා ඉන්දියාව සිය වඩා දියුණු රාජ්‍යතාන්ත්‍රිකභාවය ප්‍රදර්ශනය කර ඇත.

පළමු වරට කොවිඩ්-19 වසංගතය 2020 මාර්තු දෙවන භාගයේදී රටට පහර දුන් විට, අනෙක් රටවල් මෙන්ම, එය ඉන්දියාවටද දැඩි පහරක් විය. එහෙත්, නරේන්ද්‍ර මෝදි රජය විසින් වඩා පරිණත පරිවර්තනීය ප්‍රතිසංස්කරණ සමඟ වසංගතය වෙනුවෙන්හොඳින් සූදානම් විය. සිය වසර අටක පමණ පාලන කාලය තුළ, අගමැති නරේන්ද්‍ර මෝදි විසින් රටේ ප්‍රධාන පද්ධති ප්‍රතිසංස්කරණ කිහිපයක් සිදු කළ අතර, ඉන් බොහොමයක් මෙම විනාශකාරී කාලය තුළ ඉන්දියානුවන් ආරක්ෂා කිරීමට දායක විය.

ආර්ථික ප්‍රතිසංස්කරණ අන් සියල්ලන්ට වඩා ඉදිරියෙන් පවතින අතර, රටේ වෙනත් අභියෝග පරාජය කිරීමට, අසීරු කාලයේ නිවැරදිව ආර්ථිකය කළමනාකරණය කිරීම වඩාත් ඉවහල් විය. 2014 මැයි මාසයේදී අග්‍රාමාත්‍ය ධූරයට පත්වීමෙන් පසු, නරේන්ද්‍ර මෝදි විසින් ගනු ලැබූ පළමු ප්‍රධාන පියවරක් වූයේ, දුප්පතුන් සඳහා බැංකු සේවා වෙනුවෙන් විශ්වීය ප්‍රවේශයක් ලබා දීමයි.

ඔහු 2014 අගෝස්තු 15 දින මෙම යෝජනා ක්‍රමය ප්‍රකාශයට පත් කළේය. ප්‍රමාදයකින් තොරව මෙම යෝජනා ක්‍රමය එම වසරේම අගෝස්තු 28 වන දින දියත් කරන ලදී. දැන් PMJDY නමින් හඳුන්වන මෙය,රුපියල් කෝටි 1.75 ඉක්මවන තැන්පතු සහිත ගිණුම් මිලියන 472 කට අධික සංඛ්‍යාවක් ඇති ලොව විශාලතම මූල්‍ය ඇතුළත් කිරීමේ වැඩසටහනයි.

ඉන්දියාව 2022 මාර්තු 24 සිට දින 68 ක දැඩි අගුලු දැමීමකට මුහුණ දුන් කොවිඩ් කාලපරිච්ඡේදය තුළ රටේ සම්පුර්ණ ශක්තිය බවට පත්වුයේ මෙම PMJDY වැඩසටහනයි. මෝඩි රජය වැන්දඹුවන් ඇතුළු මිලියන සංඛ්‍යාත අඩු වරප්‍රසාද ලත් පුද්ගලයින්ගේ මෙම ගිණුම් වෙත ක්ෂණිකව මුදල් ආධාර එවූයේ එක් බොත්තමක් එබීමෙනි. ඔවුහු එම අන්ත අර්බුදකාරී අවස්ථාවේ අතරමැදියන්ට කිසිදු මැදිහත්වීමකට ඉඩ නොදී රජයේ ආධාර සෘජුව ලබා ගත්හ. එවර අගමැති මෝදිගේ දූරදර්ශීභාවය ඉන්දියාවට රුපියල් බිලියන ගණනක් ඉතිරි කළේය. 2020 අපේ‍්‍රල් මාසයේ සිට අද දක්වාම මෙම වැඩසටහන තවමත් අඛණ්ඩව ක්‍රියාත්මක වේ. මෙය ඉන්දියාවේ දුප්පතුන් සාගින්නෙන් ගලවා ගත්තා පමණක් නොව, ඉල්ලුම නිර්මාණය කරමින්, ග‍්‍රාමීය ආර්ථිකය ද උත්ප්‍රේරණය කළ ලොව විශාලතම ආහාර සුරක්ෂිතතා වැඩසටහන බවටද පත්විය.

එවැනි ප්‍රතිසංස්කරණ කරා යන මාවත මෝදි පාලනයට සැමවිටම පහසු නොවීය. 2017 ජූලි 1 වන දින භාණ්ඩ හා සේවා බදු (GST) පාලන තන්ත්‍රය දියත් කිරීමේදී විවේචන එල්ලවිය. විවේචකයින්, ප්‍රධාන වශයෙන් විපක්ෂය, පැවසුවේ එය කඩිමුඩියේ ක්‍රියාත්මක වූ බවයි. එහෙත් එදා එය ක්‍රියාවට නොනැංවූයේ නම්, එම තීරණය තවත් දශකයකට ගැනීමට ඉඩ නොතිබිණි. එහෙත් GST පාලන තන්ත්‍රය ස්ථාවර වීමට කාලයක් ගතවන බව මෝදි පාලනය දැන සිටි බව පෙනෙන්නට තිබේ. විවේචනවලින් නොසැලී එය නව බදු තන්ත්‍රය මනාව සකස් කරමින් ඉදිරියට ගමන් කළේය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ඉන්දියාවට අද වන විට ශක්තිමත් ආදායම් ප්‍රවාහයක් නිර්මාණය වී තිබේ.

GST බදු ක්‍රියාවලිය ව්‍යාපාරික අරමුණු සඳහා රට එක්සත් කළ අතර, රජය විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා ආයතනික බදු සැලකිය යුතු ලෙස අඩු කරනු ලැබීය. එහි ප්‍රතිඵලයක් ලෙස චීනය ඇතුළු සියලුම ප්‍රධාන ආර්ථිකයන් අවපාතයේ අද්දර සිටින විට, ඉන්දියාවට පසුගිය වසරේ වාර්තාගත විදේශ ආයෝජනයක් ලෙස ඩොලර් බිලියන 84ක් ලැබී ඇති බව වාර්තා තහවුරු කරයි.

ඉන්දීය ආර්ථිකය බේරාගත් වඩාත්ම කැපී පෙනෙන උපාය මාර්ගය වූයේ උද්ධමනය වර්ධනය කිරීමකින් තොරව ආර්ථිකය ඉක්මනින් පුනර්ජීවනය කිරීමට ලබාදුන් උත්තේජනයයි. මුලදී, විවේචකයෝ ඉල්ලුම ඉහල නැංවීමට කිසිවක් නොකළ බවට රජයට දෝෂාරෝපණය කළහ. ඔවුන්ට අවශ්‍ය වූයේ මධ්‍යම රජයේ මුදල් ඇමති නිර්මලා සීතාරාමන් විසින් භාණ්ඩ හා සේවා වෙනුවෙන් ඉල්ලුම නිර්මාණය කිරීම සඳහා (බොහෝ දියුණු ආර්ථිකයන් මෙන්) මිනිසුන්ට ඩොලර් බිලියන ගණනක් ලබා දීමයි. එහෙත් මුදල් ඇමතිනිය එහිදී ප්‍රවේශම් වුවාය. ඇය අසීමිත ලෙස කිසිවක් නොමිලයේ ලබා දුන්නේ නැත.

ඒ වෙනුවට, ඇය නිෂ්පාදනය ඉහල නැංවීම සඳහා මූල්‍ය පහසුකම් ලබාදුන් අතර, ප්‍රාග්ධන ආයෝජන සඳහා මහජන මුදල් වියදම් කළාය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ඉන්දියාවට සාපේක්ෂව අඩු උද්ධමනයක් පවත්වාගෙන යෑමට හැකියාව ලැබී ඇති අතර, ඊට සාපේක්ෂව බොහෝ යුරෝපීය රටවල දශක හතරක් ඇතුලත වාර්තාවූ ඉහලම උද්ධමන අගයන් ප්‍රදර්ශනය වෙමින් පවතී.

අගමැති මෝදි පසුගිය බදාදා(02) ඉන්දියාව ලබා ඇති මෙම ත්වරත්වය සාරාංශගත කළේය. බදාදා කර්නාටකයේ ගෝලීය ආයෝජකයන් වෙනුවෙන් පැවැති රැස්වීමක් අතරතුර අග්‍රාමාත්‍යවරයා ඉන්දීය ආර්ථිකයේ අකහ්න්ද ස්ථාවර වර්ධනය කෙරෙහි විශ්වාසය පළ කළේය. ඉන්දියාව කෙරෙහි ඇති ගෝලීය ශුභවාදී හැඟීම ගැන සඳහන් කරමින් ඔහු මෙසේ පැවැසීය.

“මෙය අවිනිශ්චිත කාලයකි. ලොව බොහෝ ජාතීන් ඉන්දියානු ආර්ථිකයේ මූලික සිද්ධාන්ත තේරුම් ගනිමින් සිටිති” ඔහු ඉතා නිවැරදි බව පැවසීම අතිශයෝක්තියක් නොවේ. ලොව 5වන විශාලතම ආර්ථිකයට හිමිකම් කියන ඉන්දියාව, මේ ගමන් කරමින් සිටින්නේ 2030 වන විට ලොව තෙවන විශාලතම ආර්ථිකය බවට පත්වීමේ මාවතේය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *