සියළුම වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 62ත්, 63ත් දක්වා දීර්ඝ කරයි – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ

සෞඛ්‍ය විෂය මධ්‍යම රජයෙන් ක්‍රියාත්මක සංවෘත සේවාවක් ලෙස නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට ඇතුළත් කරන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ උපදෙස් ලබාදී තිබෙනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ අරලියගහ මන්දිරයේදී ඊයේ පැවති සාකච්ඡාවකදී එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය කළ ඉල්ලීමකට අනුවයි අග්‍රාමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදී ඇත්තේ.

සෞඛ්‍ය සේවයේ සහ වෛද්‍යවරුන් හමුවේ පවතින ගැටළු හා එම ගැටළු විසදා ගැනීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරිපත් කරන යෝජනා ද මෙම හමුවේදී සාකච්ඡාවට බදුන් වී තිබෙනවා.

රජයේ වෛද්‍ය පීඨයකින් මේ වන විට බිහි වන වෛද්‍යවරුන්ගේ වයස් සීමාව බොහෝ විට අවුරුදු 28 හෝ 30කට ආසන්න වන බව එහිදී විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය පෙන්වා දුන්නා.

මේ පිළිබදව වූ යෝජනා සලකා බැලූ අග්‍රාමාත්‍යවරයා රජයේ වෛද්‍ය පීඨයකින් බිහි වන වෛද්‍යවරයෙකුගේ වයස් සීමාව අවුරුදු 22 හෝ 23 දක්වා අඩු කර ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය හා ඒකාබද්ධ වැඩපිළිවෙලක් සකස් කරන ලෙසට ද උපදෙස් ලබාදුන් බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරන්නේ.

එහිදී අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා අදහස් පළ කරමින් කියා සිටියේ සාමාන්‍ය පෙළ විභාගය අගෝස්තු මාසයේදීත් උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේදීත් පවත්වන නව යෝජනාවක් අමාත්‍ය මණ්ඩල අනුමැතියට එළඹෙන සතියේදී යොමු කරන බවයි.

ඒ අනුව දරුවන්ගේ අධ්‍යාපනයට වැඩි වශයෙන් ගත වූ මාස 9ක කාලයක් අඩු කර ගැනීමට අපේක්ෂා කරන බව ද අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සම්බන්ධයෙන් පැන නැගී ඇති තත්ත්වය විමසා බැලූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෛද්‍ය සභාව ස්වාධීනව පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙසට ද සෞඛ්‍ය ඇමතිනිය වෙත උපදෙස් ලබාදුන්නා.

විශේෂඥ වෛද්‍යවරුන්ට අමතරව සියළුම වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 62ත්, 63ත් දක්වා දීර්ඝ කිරීම පිළිබදව ද අග්‍රාමාත්‍යවරයාගේ අවධානයට ලක්වුණා.

පාසල් දරුවන්ගේ හා වෛද්‍යවරුන්ගේ ආපන ශාලාවන් සෞඛ්‍යාරක්ෂිත කිරීම, පාසල් දරුවන් අතරට වේගයෙන් පැතිර යන බෝ නොවන රෝග වසංගත මැඩලීම හා ඒ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අධ්‍යාපන අමාත්‍යාංශයට දුන් යෝජනා පිළිබදව ද ඊයේ පැවති එම සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයා දැනුවත් කර තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *