රට යන අම්මලාට පිටු 22ක ලිපියක් ලියමින් ‘තාත්තා’ දුවත් එක්කම නොඑනා ගමන් ගියා

පෙර පාසල් අවධියේ සිට දියණියකට මවු සෙනෙහස නොමැතිව වසර 8කට වැඩි කාලයක් ගත කළ දරුවන් සහ පියෙකු හිඟුරක්ගොඩ හේන්කොළවෙල පළාතම කම්පාවටපත් කරමින් මෙලොව හැරගොස් තිබෙනවා.

හිඟුරක්ගොඩ ආනන්ද බාලිකාවේ 8 වසරේ ඉගෙනුම ලැබූ 13 හැවිරිදි එච්.එම්. විශ්මි දිලීෂා හා එච්.එම්. වසන්ත කුමාර හේරත් මෙලෙස සියදිවි හානිකර ගෙන තිබුණා.

රට රැකියාවකට ගොස් ආපසු නිවෙසට නොපැමිණි බිරියක් නිසා මෙම දිවි නසා ගැනීම සිදුව ඇති අතර මෙම පියා මිය යන්න පෙර දීර්ඝ ලිපියක් ලියා රට යන අම්මලාට වැදගත් කරුණු කිහිපයක් සඳහන් කර තිබෙනවා.

පිටු 22න් සමන්විතව තිබූ එම ලිපියේ මියගිය වසන්ත විසින් මෙවන් වදන්ද ලියා තිබෙනු දකින්නට ලැබුණා.

‘මෙවන් ලිපියක් ලියන්න වෙයි කියලා කවදාවත් මම හිතුවේ නෑ. දුක්ගැහැට මැදින් ආ ගමන ගොඩක් සතුටුයි. මා ආ ගමන විස්තර කරන්න මේ පොත මදි.

මේ සේරටම මුල මගේ නැන්දම්මා. එයාට ඕන වුණේ දුවලා ටික රට යවලා සල්ලි හොයාගන්න විතරයි. අසරණ දරුවෝ ගැන එයා හිතුවේ නෑ. ඒ නිසා ඒ රට ජීවිතයට ඇබ්බැහි වුණා. මම තනි වුණා.

ඒ වුණත් මම මගේ දරුවන්ව උපරිමයෙන් බලා ගත්තා. බඩගින්නේ තිබ්බේ නෑ. මට තවත් මේක විඳදරා ගන්න බෑ. මේ පීඩනය දරාගන්න බෑ. මට ඒකට මගේ හිතට හයියක් නෑ. ඒ නිසා මම මගේ ජීවිතය අතහැරලා යනවා. ඒ යන ගමන් මගේ වස්තුව චූටියා විශ්මිත් අරන් යනවා. එයාව දාලා ගියොත් එයාවත් මගේ නැන්දම්මා විනාශ කරනවා. ඒ නිසා තමයි මම චූටිත් අරන් යන්නේ. එතකොට මටත් එයාටත් තනියක් නෑ.

මම හිතන්නේ මගේ දරුවන් මෙහෙම තනිවුණේ, අම්මලාගේ ආදරය නැතිවුණේ, අම්මලා දරුවන් දාලා ගියේ මගේ දරු දෙදෙනා ගිය ආත්මවල කරපු පව්වලට වෙන්න ඇති. මගේ ඉල්ලීමක් ලෙස රට යන අම්මලාට මම කියන්නේ දරුවන්, ස්වාමිවරුන් අමතක කරන්න එපා. රට යන්නේ ඒ අය වෙනුවෙන් නම් ඒ අය අතාරින්න එපා. එහෙම වුණොත් මම දරුවන් සමඟ අසරණ වුණා වගේ ඒ අයත් අසරණ වෙයි.

ඒ නිසා රට යන දූවරුන්ගේ අම්මලාට කියන්නේ තමන්ගේ දුවගේ බෑනාගේ ජීවිතවලට අනවශ්‍ය ලෙස අත දාන්න එපා. ඒ අයගේ පවුල් කඩන්න එපා වගේම දිගින් දිගටම රට යන්න පොලඹවලා මට වුණා වගේ රටේ ඉන්න බෑනාවරුන් හා දරුවන් අසරණ කරන්න එපා කියලා.”

You May also like

Comments are closed, but trackbacks and pingbacks are open.