පාපන්දුවේ මිලියන 190ක වංචාවක් – පියවන තුරු කළමනාකරුගේ නිවස ඇපයට දෙන්නම් ලු

ශ‍්‍රී ලංකා පාපන්දු ක‍්‍රීඩාවේ වත්මන් විනාශයට සභාපතිවරයා වශයෙන් කටයුතු කරන අනුර ද සිල්වා මහතා වගකිව යුතු බවත් ඔහු ඒකාධිපති පාලනයක් කරගෙන යන බවත් කලාපීය පාපන්දු සංවර්ධන සභාපති ආර්.පුවනේන්ද්‍රන් මහතා පවසනවා.

ඒ අනූව දේශීය පාපන්දු ක‍්‍රීඩාවට උද්ගත වී ඇති තත්ත්වය පාලනය කිරීමට ක‍්‍රීඩා ඇමැතිවරයා මැදිහත් විය යුතු බවත් හෙතෙම සඳහන් කර සිටිනවා.

ඒ අනුව ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාපන්දු කවුන්සිල රැස්වීමට ක‍්‍රීඩා ඇමැතිවරයාට සහභාගි වන ලෙසද කලාපීය පාපන්දු සංවර්ධනයේ සභාපතිවරයා ඉල්ලීමක්ද කර තිබෙනවා.

පාපන්දුව විනාශ වීමට ප‍්‍රධාන හේතුන් සහ ඒ සම්බන්ධ සියලූ තොරතුරු ලිඛිතවම මීළඟ කවුන්සිල රැස්වීමේදී ලබාදීමට පුවනේන්ද්‍රන් මහතා අදහස් කර ඇති බවයි වාර්තා වන්නේ.

‘කී‍්‍රඩා ඇමැතිවරයා මැදිහත්ව වත්මන් පාපන්දු සභාපතිවරයා සහ කමිටු සාමාජිකයන් තිදෙනා වහාම ඉවත් කළ යුතුයි. නැතිනම් පාපන්දු ක‍්‍රීඩාව නැත්තටම නැති වේවි. ක‍්‍රීඩා ඇමැතිවරයා මුදලට යට වෙන ඇමැති කෙනෙක් නොවන බව මා හොඳින්ම දන්නවා. ඒ නිසා ඇමැතිවරයා පාපන්දු පරිපාලනය සම්බන්ධයෙන් වහාම තීන්දුවක් ගත යුතුයි.’ යනුවෙන් පුවනේන්ද්‍රන් මහතා පවසනවා.

පසුගිය කාලයේ පාපන්දු සම්මේලනයේ සිදුවූ රුපියල් මිලියන 190 ක මුල්‍යමය වංචාව සම්බන්ධයෙන්ද පුවනේන්ද්‍රන් මහතා කරුණු හෙළිදරවු කර තිබෙනවා.

‘‘රුපියල් මිලියන 190 ක් මූල්‍ය කළමනාකරුවෙකු වංචා කළ බවට චෝදනා තිබුණා. ඒ චෝදනාව පිළිගත් මුල්‍ය කළමනාකරු මුදල් පියවනතුරු ඔහුගේ මෝටර් රථය, නිවසක් ඇතුළු වත්කම් පාපන්දු සම්මේලනය නමට ලියා දෙන්න කැමැති වුණා. නමුත් අද වෙනතුරුත් ඒවා සම්මේලනය අරගෙන නැහැ. සභාපතිවරයාට එහෙම නොගෙන ඉන්න හේතුවකුත් නැහැ. පාපන්දු සභාපතිවරයා එසේ නොගෙන සිටීමත් ප‍්‍රශ්නයක්. මේ රටේ ජනතාවගේ සල්ලි. මුදල් ආරක්ෂා කරමින් පරිපාලනය කරන්න බැරිනම් ඉල්ලා අස්විය යුතුයි.

කලාපීය පාපන්දු සංවර්ධනය සම්බන්ධයෙන් පසුගිය වසර දෙකේ එකම රැුස්වීමක් තියලා නැහැ. මගේ පුද්ගලික මුදල් ලක්ෂ 25 ක් විතර වියදම් වුණා. පසුගියදා බංග්ලාදේශයේ පැවැති සාෆ් පාපන්දු තරගාවලියේදී කණ්ඩායමේ විශාල අර්බුද ඇතිවුණා. ජය ගන්න තිබුණත් ඒ නිසා බැරි වුණා. නමුත් වැරදි කරපු කිසි කෙනෙකුට ක‍්‍රියාමාර්ගයක් නැහැ.’’ යනුවෙන් ඔහු පවසනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *