ක්‍රිකට් විකාශන අයිතිය ගැන සාකච්ඡාවට පහක් ඩුබායි ගිහින්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගි වන ක්‍රිකට් තරග විකාශන අයිතිය වෙනුවෙන් ගිවිසුම්ගත වීම සඳහා විශේෂ සාකච්ඡාවක් අද (14) ඩුබායිහිදී පැවැත්වීමට නියමිතයි.මෙම සාකච්ඡාව එළඹෙන 18දා දක්වා පැවැත්වෙන බව අනාවරණය වනවා.

මේ සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (අයි.සී.සී.) නියෝජිතයන්ද සහභාගි වීමට නියමිත අතර, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරීන් 05 දෙනෙකු සහභාගි වීමට නියමිතයි.

මීට පෙර ක්‍රීඩා අමාත්‍ය ධුරය දැරූ හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කමිටුවක් පත්කළ අතර, එම කමිටුවට ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා සහ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා යන මහත්වරුන් ඇතුළත්ව සිටියා.

කෙසේ වෙතත් මෙම විශේෂ සාකච්ඡාව සඳහා සහභාගි වීමට අවසර දෙන ලෙස ඉල්ලමින් පසුගිය 02 වැනිදා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතාගෙන් ඉල්ලීමක් කර ඇති අතර, ඒ අනුව ක්‍රිකට් ප්‍රධානීන් 05 දෙනෙකු මෙම සාකච්ඡාවට සහභාගි වන බවට වාර්තා වනවා.

ඒ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා, උපසභාපති රවීන් වික්‍රමරත්න, ලේකම් මොහාන් ද සිල්වා, භාණ්ඩාගාරික ලසන්ත වික්‍රමසිංහ සහ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා සහභාගි වන බවට හෙළිව තිබෙනවා.

ක්‍රිකට් ආයතන අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසුවේ එම නිලධාරීන්ගෙන් ඇතැම් නිලධාරීන් පසුගියදා (10දා) ශ්‍රී ලංකාව පරාජයට පත්වූ තෙවැනි විස්සයි20 තරගය නැරඹීමට ගොස් අනතුරුව ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බවයි.

මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් තරග විකාශන ගිවිසුමට අදාළ කාලසටහනක්ද ක්‍රිකට් බලධාරීන් ක්‍රීඩා අමාත්‍යාංශය වෙත යොමු කර තිබුණා.

You May also like

Comments are closed, but trackbacks and pingbacks are open.