මත්ද්‍රව්‍ය නාශක IP කුඩු කිලෝ 40ක් විකුණලා – මාබාගේ දී කිලෝ දෙසිය විසි පහක් ඇල්ලීමත් රඟපෑමක්

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් එක්ව සිදු කළ මත් කුඩු ජාවාරම් අනාවරණය වීමත් සමග එම කාර්යාංශය සම්පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක් කිරීමට එහි ප්‍රධානියා ලෙස පත් කළ නියෝජ්‍ය පොලිස්පති ජී.කේ.ජේ. අපොන්සු තීරණය කර තිබෙනවා.

දැනට කරන විමර්ශනවලට අනුව කුඩු කිලෝ දෙසිය විසිපහක් අත්අඩංගුවට ගැනීමට මුල් වූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂකවරයා දින පහක් තිස්සේ රාජකාරියට වාර්තා නොකර පළා ගොස් සිටින අතර ඔහු සොයා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වනවා.

මෙම පොලිස් පරීක්ෂකවරයා පොලිස් සැරයන්වරයකු දැනුවත්ව සඟවා තැබූ පිස්තෝලයක් හා රුපියල් ලක්ෂ එකොළහක මුදල් තොගයක් විමර්ශන කණ්ඩායම් අත්අඩංගුවට ගෙන තිබුණා.

පැනගිය පොලිස් පරීක්ෂකවරයා මාබාගේ දී කුඩු කිලෝ දෙසිය විසි පහක් ඇල්ලූ බවට පවසමින් කළ මෙහෙයුමට අවශ්‍ය කුඩු සොයා ට්‍රෝලරයක් කුළියට ගෙන මුහුදට ගිය කණ්ඩායම මෙහෙයවූ බව හෙළි වී තිබෙනවා.

මොහු මීට පෙර කටුනායක ගුවන් තොටුපොළ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සිටියදී අයිස් මත්ද්‍රව්‍ය හා රත්රන් හොරකම් කිරීම පිළිබඳව චෝදනා එල්ල වූ නිලධාරියකු බව හෙළි ව ඇති අතර මොහුට පාකිස්තාන කුඩු ජාවාරම්කරුවන්ගෙන් එන කුඩු තොගය ගැන ඔත්තුව දුන් ඔත්තුකරුද මේ වන විට අනාවරණය කරගෙනඇති බව සඳහන්.

මෙම කුඩු තොගය වෙනම බෝට්ටු දෙකක රැගෙන විත් ඉන් කිලෝ අනූ නවයක් ඩුබායි සිටින මාකඳුරේ මධුෂ්ගේ කුඩු ජාවාරම අතට ගත් ගිහාන් ෆොන්සේකාට කැමිලස් නමැති බන්ධනාගාරගත තවත් ජාවාරම්කරුවෙකු මාර්ගයෙක් විකුණා ඇතැයි හෙළි තිබුණා.

මින් කුඩු කිලෝ හතළිහක් විකුණා ඇත්තේ පැනගොස් සිටින පොලිස් පරීක්ෂක යටතේ වූ කණ්ඩායම බව හෙළි තිබෙනවා.

මෙම කුඩු තොගය සහල් මලුවලට අසුරා කොස්ගොඩ තාරකගේ කුඩු තොගයක් ඇල්ලූ බව කියමින් මෙම පොලිස් පරීක්ෂකවරයා මාධ්‍යයට අසත්‍ය තොරතුරු දුන් බවද දැන් හෙළි වී තිබුණා.

දැනට අත්අඩංගුවේ පසු වන වීරසිංහ නමැති සැරයන්වරයාගේ සොහොයුරාගේ නමින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ මෙහෙයුම්වලට යොදා ගෙන මාසිකව ලක්ෂ එකහමාරක කුලියක් ගත් ඩොලිපින් වෑන් රථයක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන්දෙණියේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *