පහසු ණය යෝජනා ක්‍රම හරහා සිදු කරන මුදල් සොරකම්

සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය පදනම් කරගනිමින් ක්‍රියාත්මක වන විවිධ මූල්‍ය වංචා පිළිබඳ තොරතුරු තමන් වෙත ලැබී ඇති බව මෙවැනි වංචාවන්හි වැඩිවීමක් මෑතකදී නිරීක්ෂණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ වංචා බොහෝමයක් මහජනතාව ආකර්ෂණය කරගන්නා පහසු ණය යෝජනා ක්‍රම හරහා සිදු කරන බවයි.

එවැනි වංචනික ණය අනුමත කිරීමේ ක්‍රියාවලියේදී, වංචාකරුවන් සාමාන්‍ය ජනතාවගේ බැංකු ගිණුම් අංක සහ ඔවුනගේ බැංකු පුද්ගලික හැඳුනුම් අංක (PIN) වැනි රහස්‍ය තොරතුරු තමන්ට ලබාගැනීම සඳහා මහජනයා පොළඹවන අතර එමගින් වංචාකරුවන් පාරිභෝගික ගිණුම් වෙත පිවිස ඒවායේ ඇති මුදල් සොරකම් කිරීමට එවැනි තොරතුරු භාවිතා කරනු ලබන බවයි මහ බැංකුව පෙන්වා දෙන්නේ.

වංචාවක් සිදු වූ විට ක්ෂණිකව එය පාරිභෝගිකයාට දැනගැනීම සඳහා තම බැංකු හෝ මූල්‍ය සමාගම් වැනි බැංකු නොවන මූල්‍ය ආයතනවලින් කෙටි පණිවිඩ වැනි එසැනින් දැනුම්දීමේ සේවා සක්‍රීය කරගන්නා ලෙස ඔවුන් ජනතාවට දන්වා සිටිනවා.

ගිණුම් හිමිකරුවන් මෙවැනි වංචා පිළිබඳ සැමවිටම අවධානයෙන් සිටිය යුතු බවත්, තමන්ගේ රහස්‍ය තොරුතුරු විශේෂයෙන්ම ගිණුම් පරිශීලක නාම, මුරපද, පෞද්ගලික හැඳුනුම් අංක (PINs), එක්වරක් පමණක් භාවිතාවන මුරපද (OTP), හෝ ගිණුම්වලට පිවිසීමේදී ගිණුම් හිමියාගේ අනන්‍යාතාවය තහවුරු කිරීම සඳහා භාවිතා කළ හැකි වෙනත් ඕනෑම රහස්‍ය තොරතුරක් අනෙකුත් පුද්ගලයින් සමග හුවාමාරු කර නොගැනීමට පියවර ගත යුතු බවත් මහ බැංකුව තරයේ අවවාද කර සිටිනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *