ශ්‍රී ලංකාවේ ගමින් ගමට ගොස් නොමිලේ ක්‍රිකට් උගන්වන එංගලන්ත කොල්ලෝ (Photos)

“ආයුබෝවන්, කරුණාකරලා මගේ සිංහල ගැන සමාවෙන්න. මගේ නම් ඇලෙක්ස්. ඔබ දැනගැනීම සතුටක්.”

21ක් හැවිරිදි ඇලෙක්ස් ව්රේ, එංගලන්තයේ යෝක් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙක් මෙන්ම එහි ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙකි.

ඔහු තම සගයන් තිදෙනෙකු සමග මේ දිනවල ශ්‍රී ලංකාව පුරා සංචාරය කරමින් සිටී. ඔවුන් ශ්‍රී ලංකාවේ දුෂ්කර ප්‍රදේශවල පාසල්වලට ක්‍රිකට් පුහුණුකිරීමේ වැඩසටහන් පවත්වයි.

ඇලෙක්ස්, ටීම්, ජෝර්ජ් සහ ජෙකොබ් යන නව යොවුන් වියේ පසුවන මෙම තරුණයක් සිව්දෙනා මුණගැසුනේ බණ්ඩාරවෙල ප්‍රදේශයේ පාසලක දරුවන් සඳහා ක්‍රිකට් සැසියක් පැවැත්වීමට පැමිණ සිටියදී ය.

ඔවුන් ලංකාවට පැමිණ ඇත්තේ මීට මසකට පමණ පෙරදී ය. ඔවුන් මේ වනවිට අනුරාධපුරය, මහනුවර, යාපනය, කිලිනොච්චිය සහ මඩකලපුව යන ප්‍රදේශවල ක්‍රිකට් පුහුණුකිරීමේ වැඩසටහන් පවත්වා තිබේ.

“කණ්ඩායම 1 මේ පැත්තට, කණ්ඩායම 2 මේ පැත්තට.” ඇලෙක්ස් තමන් ශ්‍රී ලංකාවේ ගතකළ කාලය තුළ ඉගෙනගත් සිංහල භාෂාවෙන් පුහුණු සැසියට පැමිණ සිටි පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් ඇමතුවේ එලෙසය.

ඔහු තමන්ට හැකි අයුරින් සිංහල භාෂාව කතාකරන ආකාරය, එතැන සිටි සියලුදෙනා දැඩි සතුටකින් අසා සිටියහ.

විශ්වවිද්‍යාල නිවාඩු කාලයේදී ශ්‍රී ලංකාවට පැමිණ මෙවැනි වැඩසටහනකට එක්වන්නේ, ඔවුන්ගේ විශ්වවිද්‍යාලයේ, ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හිටපු ශ්‍රී ලංකා පළමු පෙළ ක්‍රීඩකයකු වන තරිඳු පෙරේරාගේ ඉල්ලීමක් අනුව බව මෙම තරුණයෝ පැවසූහ.

එංගලන්ත යෝර්ක්ෂයර් ප්‍රාන්තයේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙසද කටයුතු කරන තරිඳු පෙරේරා, තම සිසුන් සිව්දෙනා පවත්වන පුහුණු කඳවුර නැරඹීමට බණ්ඩාරවෙලට පැමිණ සිටියේය.

“මම විශ්වවිද්‍යාල කණ්ඩායමෙන් නිකමට ඇහුවා ලංකාවේ පුහුණුවීම් කිරීම ගැන. හතරදෙනෙක් දවස් දෙකෙන් කැමති වුණා ඔවුන්ගෙන් වියදමෙන් ලංකාවට එන්න. මට හිතුනේ අපිට ප්‍රයෝජනයක් ගන්නවා වගේම එගොල්ලන්ටත් ලංකාව පුරා සංචාරය කරලා ඒ සුන්දර අත්දැකීම ලබාදෙන්න ඒක අවස්ථාවක් වෙයි කියලා,” තරිඳු පෙරේරා බීබීසි සිංහල සේවයට කියා සිටියේය.

“ඒගොල්ලෝ අනුරාධපුරයෙන් පටන් ගත්තේ. එතනින් යාපනයට ගියා. පස්සේ කිලිනොච්චිය, මඩකලපුව, නුවර දැන් බණ්ඩාරවෙලට ඇවිල්ල ඉන්නවා. මාතරින් තමයි අවසන් වෙන්නේ. ඔවුන් ලංකාවේදී ලබපු මේ අත්දැකීමත් එක්ක මම හිතනවා ඉස්සරහට හතර දෙනා 8 දෙනෙක් වෙයි. එහෙම වුනොත් අපිට තවත් පුහුණු කඳවුරු පවත්වන්න පුළුවන්,” තරිඳු සඳහන් කළේය.

මෙම ක්‍රීඩකයන් සංචාරය කරන සෑම පළාතකම ඔවුන්ට නොමිලේ නවාතැන් දීමටත් පුහුණු වැඩසටහන් සංවිධානය කිරීමටත් තරිඳු තමන් සමග එවක ශ්‍රී ලංකාවේ පළමු පෙළ තරග ක්‍රීඩා කළ මිතුරන්ගේ උදව් ලබාගෙන තිබිණි.

“මේකෙන් හැමෝටම ඉගෙන ගන්න පුළුවන්. එංගලන්තය දැන් සුපුරුදු පුහුණුවීම් ක්‍රම වලින් එළියට ගිහිල්ලා කටයුතු කරනවා. ඒ වගේ දේවල්, මේ වගේ පුහුණු සැසි වලින් අපේ රටේ දරුවන් සමග බෙදාගන්න පුළුවන්. ඊට අමතරව මේකෙන් දෙරට අතර සංස්කෘතිකමය අත්දැකීම් හුවමාරුවකුත් සිදුවෙනවා,” තරිඳු පෙරේරා කියා සිටියේය.

පුහුණු සැසියට අමතරව දුෂ්කර පාසල් සහ ක්‍රීඩා සමාජ වලට ක්‍රිකට් ආම්පන්න ලබාදීම ද මෙම වැඩසටහන අතරතුර සිදුකරයි. යෝර්ක්ෂයර් ප්‍රාන්තයේ ක්‍රිකට් ක්‍රීඩාකරන ක්‍රීඩකයන් එම ආම්පන්න පරිත්‍යාග කර තිබු අතර ඇලෙක්ස්, ටීම්, ජෝර්ජ් සහ ජෙකොබ් අවශ්‍ය දරුවන්ට ඒවා බෙදා දෙති.

“මට හරි පුදුමයි ලංකාවේ ක්‍රීඩකයන්ගේ තියෙන කැපවීම ගැන. අපි නම් මේවගේ දුඹුරු තණකොළ නැති පිටියක එහෙ මෙහෙ පනින්න හිතලවත් බලන්නේ නැහැ. නමුත් මේ ක්‍රීඩකයන්ට ඒක ගානක්වත් නැහැ. එංගලන්තයේ ළමයින්ට වඩා මොවුන් දක්ෂයි.”

“මේ අඩු පහසුකම් යටතේ ඔවුන් දක්වන දක්ෂතා සුවිශේෂයි,” එංගලන්ත යෝක් විශ්වවිද්‍යාලයෙන් පැමිණ සිටින ටීම් මිචෙල් කියා සිටියේය.

පාස්කු ඉරිදා දින ශ්‍රී ලංකාවේ සිදු වූ ප්‍රහාරයෙන් පසු තමන් ශ්‍රී ලංකාවට යැවීමට දෙමාපියන්ගේ යම් චකිතයක් මුලදී තිබුණත් පසුව එම තත්ත්වය වෙනස්වූ බව ටීම් මිචෙල් පැවසුවේය.

“අපේ ජිවිතවලට මේක ලොකු අත්දැකීමක්. තනියෙන් ඇවිල්ලා බස් රථවලින් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලට ගමන් කරලා සුන්දර ස්ථාන බලල අපි ලොකු සතුටක් ලැබුවා. දළදා මාළිගාව, මඩකලපුවේ මුහුදු තීරය වගේ දේවල් හරි සුන්දරයි. ඒ වගේම ලංකාවේ කෑම අමතක කරන්න බැහැ. කරි වර්ගයේ කෑම දැන් මගේ ප්‍රියතම ආහාරය බවට පත්වෙලා.” ටීම් මිචෙල් සඳහන් කළේය.

ඉදිරියේදී තම විශ්වවිද්‍යාලයෙන් මෙවැනි පුහුණු වැඩසටහන් සඳහා විශාල පිරිසක් පැමිණෙනු ඇති බවට තමා විශ්වාස කරන බව ද ඔහු කියා සිටියේය.

“එන්න බැරිවුණු අපේ යාළුවෝ දැනටමත් අපේ පින්තුර දැකලා හරි කනගාටුවෙන් ඉන්නේ. දැන් අනිවාර්යෙන් ඔවුන් ලබන අවුරුද්දේ ලංකාවට එනවා,” ඔහු සිනාසෙමින් කියා සිටියේය.

Source – BBC Sinhala

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *