නැවතත් ඉන්ධන මිල ඉහළට

අද රාත්‍රියේ සිට නැවතත් ඉන්ධන මිල ඉහළ යාමක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල සඳහන් වන්නේ රුපියල් 420.00ක් ලෙසින්.

එහි පැරණි මිල පැවතියේ රුපියල් 337.00ක් ලෙසට යි.

එමෙන්ම ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 450.00ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ වර්ගයේ පෙට්‍රල් ලීටරයක පැරණි මිල සටහන් වූයේ රුපියල් 373.00ක් ලෙසට යි.

රුපියල් 289.00ට මිල කර තිබූ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 400ක් දක්වා ඉහළ දමා ඇති බවයි ඛනිජ තෙල් සංස්ථා ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ඒ අනුව ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 111.00කින් වැඩි වී තිබෙනවා.

මීට අමතරව රුපියල් 329.00ට මිල කර තිබූ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 445.00ක් දක්වා ඉහළ දැමීමට යි තීරණය කර ඇත්තේ.

මෙම අවසන් මිල වැඩි වීම සිදු වූයේ පසුගිය අප්‍රේල් මස 19 වන දා යි.

පැවති මිල ගණන් යටතේ ඉන්ධන අලවි කිරීමේ දී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දෛනික ව රුපියල් මිලියන 600ක පමණ පාඩුවක් ලබන බව යි ඛනිජ තෙල් සංස්ථා ආරංචි මාර්ග සඳහන් කළේ.

කෙසේ වෙතත් අද සවස පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී මෙම මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු බවත් එහි දී අවධාරණය කර ඇත්තේ, පවතින ආර්ථික අවපාතය හමුවේ තවදුරටත් මෙවැනි පාඩුවක් දැරීමට ඛනිජ තෙල් සංස්ථාවට නො හැකි බවත් ය.

කෙසේ වෙතත් අඩු ආදායම් ලබන ජනතාවගේ ගැටලු සළකා බලා මේ මොහොතේ දී භූමිතෙල් මිල ඉහළ නො දැමීමට තීරණය කළ බවත් කැබිනට් ආරංචි මාර්ග සඳහන් කළා.

You May also like

Leave a Reply

Your email address will not be published.