‘ඒඩ්ස්’ කියා කටකතාවක් පැතිරී ගමක්ම එක්වී කොන් කළ එකම පවුලේ දියණියන් හයදෙනාම සියදිවි නසාගන්නම හිතලා

එච්.අයි.වී. ආසාදිත ඒඩ්ස් රෝගය වැලඳී ඇති බවට චෝදනා කරමින් මව, පියා නොමැතිව ජීවත්වන තමන්ව ප්‍රදේශයෙන් හා පාසලෙන් කොන් කර දමා තිබෙන බැවින් තමන්ට සමාජයෙන් සාධාරණය ඉටුකර දෙන්නැයි එකම පවුලේ දියණියෝ හය දෙනෙක් හඬා වැටෙමින් ඉල්ලා සිටින්නීය.

ගලේවෙල, අලුත්ගම, නිරන්ගමුව ප්‍රදේශයේ පදිංචි මෙම දියණියන් හයදෙනා මේ ඛේදනීය සමාජ අසාධාරණයකට ලක්ව සියදිවි හානි කර ගැනීමට උත්සාහ දරමින් සිටියදී දඹුල්ල රෝහලේ වෛද්‍යවරයකු ඔවුන් හය දෙනා පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කිරීම විශේෂත්වයකි.

පාසල් වියේ පසුවන දියණියන් තිදෙනකු මෙම පවුලේ සිටින අතර තිදෙනාම ඔවුන් ඉගෙනුම ලැබූ විද්‍යාලයෙන් ගුරුවරුන් විසින් ඉවත් කොට තිබෙන බව හඬා වැටෙමින් පැවසුවාය.

ළිඳකින් වතුර ටිකක් ලබාගැනීමට, වෙළෙඳසලකින් භාණ්ඩයක් මිලදී ගැනීමට, ත්‍රිරෝද රථයකින් කුලී ගමනක් යෑමට සහ සමාජය ඉදිරියට පැමිණීමට නොහැකි තත්ත්වයට කොන් කර දමා තිබෙන මෙම දියණියන් හයදෙනා දැඩි මානසික පීඩනයකින් ජීවත් වන බවත් ඔවුහු කියති.

මෙම දියණියන් සොයා ගලේවෙල, ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ නිවෙස සොයා අපි ගියෙමු.

මෙම දියණියන් හය දෙනා,එක් දියණියකගේ කුඩා දරුවකු සමඟ දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ කුඩා කාමරයක තනිව ජීවත් වෙති.

මෙම දියණියන්ගේ පියා මීට වසර කිහිපයකට ඉහතදී ළිඳකට වැටීමෙන් මියගොස් තිබේ. මව විදේශගතවී දරුවන් පෝෂණය කිරීමේ කටයුත්ත සිදුකරන බව දියණියෝ පවසති.

මෙම පවුලේ දෙවැනි දියණිය මීට වසර කිහිපයකට ඉහතදී පවුලේ අය ජීවත් කිරීම සඳහා විදේශ රටක සේවය සඳහා ගොස් තිබෙන බවත් පසුව ඇය මීට මාස නවයකට ඉහත දී නැවත මෙරටට පැමිණ ඇත්තේ ඇයගේ සිරුරේ සමේ රෝගයක් ඇති වීම නිසාවෙන් බවත් කියයි.

එම රෝගයට ප්‍රතිකාර කිරීම සිදු කරමින් සිටියදී ඔවුන්ගේ මව දරුවන් ජීවත් කිරීම සඳහා ගෘහ සේවය සඳහා විදේශගතවී තිබේ.

පාසල් වියේ පසුවන වයස අවුරුදු දාහතරක, වයස අවුරුදු දහතුනක සහ වයස අවුරුදු අටක් වන මෙම තිදෙනාම ගලේවෙල, අලුත්ගම, නිරංගමුව විද්‍යාලයේ අධ්‍යපනය ලබමින් සිටිති. මේ තිදෙනාම මේ වනවිට පාසලෙන් ඉවත්කොට ඉගෙනීමක් නොමැතිව නිවෙසට වී සිටි.

24 හැවිරිදි දෙවැනි දියණිය සමේ ඇති වූ රෝගයට ප්‍රතිකාර ගැනීම නිසා ගම පුරා පැතිර ගොස් ඇත්තේ ඇයට එච්.අයි.වී. ආසාදිත වී ඒඩ්ස් තත්ත්වයට පත්ව අනෙකුත් සහෝදරියන් සියලු දෙනාටම එය බෝවී තිබෙන බවය. මාස කිහිපයක් තිස්සේ මේ කටකතාව නිසා ඔවුන් දැඩි අසීරුතාවකට පත් වෙමින් සිටින බව මේ පිරිස කියති.

වැඩිමහල් දියණිය 27 හැවිරිදිය. විවාහවී ඇති ඇයට එක දරුවකුද සිටින්නීය. මෙම කටකතාව පැතිර යෑමත් සමඟ ඇයගේ සැමියාද දරුවාද තමාද හැර ගිය බව ඇය හැඬු ක¾දුළින් පැවසුවාය.

මෙම දියණියන් හයදෙනා සහ කුඩා දරුවකු තවදුරටත් මෙම සමාජ අසාධාරණයට ලක්වීම නිසා කුඩා නිවෙස තුළ එකට මියැදීමට කතිකා කරගත් බව ඔවුහු හඬා වැටෙමින් කියති.

මෙම දරුවන් පාසලෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් නිරන්ගමුව ප්‍රාථමික විදුහලේ විදුහල්පති ජනක කිත්සිරි මහතාගෙන් විමසීමේදී මෙසේ පැවසීය.

“ඒ දරුවන් තුන් දෙනාගේ අක්කා කෙනෙක් රට ඉඳල ඇවිල්ල තියෙනව. එයාට යම්කිසි රෝගී තත්ත්වයක් තියෙනවා කියලා අපිට ආරංචි වුණා. ඒ වගේම ඒක අනිත් ළමයින්ට පැතිර යයි කියන අවදානම හින්දා මම එයාලට කිව්වා ප්‍රතිකාර ලබාගෙන පසුව විද්‍යාලයට එන්න කියලා. හැබැයි මම ඒ අයට ඒඩ්ස් තියෙනවා කියලා කිව්වේ නෑ. මොකද මම එහෙම දැනුම් දුන්නේ පී.එච්.අයි. මහත්තයාටත් කියලා.”

ගලේවෙල කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂිකා නයෝමි හෙට්ටිආරච්චි මහත්මිය:

“මම මේ සිද්ධිය දන්නේ නැහැ. විදුහල්පතිවරයා මට කිසිම දැනුම් දීමක් කරලා නැහැ. ඒ දරුවන් පාසලෙන් ඉවත් කරනවා නම් මාව දැනුවත් කරන්න තිබුණා. මම අදම ඒ පාසලට ගිහිල්ලා මේ ගැන සොයා බලනවා. මොකද මම මේ ගැන මාධ්‍යයෙන් අහනකොට තමයි දැනගත්තේ. මම වහාම සොයා බලනවා”

කෙසේ වෙතත් මෙම පාසලෙන් ඉවත් කර ඇති දැරියක හඬා වැටෙමින් මෙසේ පැවසුවාය.

“එදා නංගිලා දෙන්නා ඉස්කෝලේ ගිහිල්ලා හිටියේ නෑ. මම විතරයි හිටියේ. මට විදුහල්පතිතුමා එන්න කියලා කිව්වා වෙනම ඩෙස් එකක් පුටුවක් පාවිච්චි කරන්න කියලා. මං එහෙම පාවිච්චි කරන්න අයින් කරගත්තා. ඒත් එක්කම අනිත් ළමයි ඔක්කොම ඉස්සරහ තමයි මට කිව්වේ. ඔයාලට සමාජ රෝගයක් තියෙනවා කියලා ඒ වෙලාවේ අනිත් ළමයි ඔක්කොමල මාව පිළිකුල් කළා. හිතාගන්ඩ බැරි දුකක් ඒ වෙලාවේ දැනුණේ. හොඳම යාළුවෝ, ගුරුවරු කවුරුත් අපි දිහා බැලුවේ හොඳ නැති විදිහට. පස්සේ මම වෙනම ඩෙස් එකයි, පුටුවයි තියාගෙන පන්තියේ ඉන්න කොට ප්‍රින්සිපල් සර් නැවත කතා කළා. කතා කරලා කිව්වා තවදුරටත් ඉස්කෝලේ ඉන්න එපා. පොත් ටිකත් අරගෙන ගෙදර යන්න කියලා. ගිහිල්ලා මේ ලෙඩේ හොඳ වුණු කාලෙක ඉස්කෝලෙට එන්න කියලා තමයි සර් කිව්වේ. ළමයි ඔක්කොමල මම යන දිහා බලාගෙන හිටියා. පස්සේ අපේ අක්කලා දෙන්නට ඉස්කෝලෙට එන්න කියලා අනිත් නංගිලා දෙන්නවත් ඉස්කෝලේ එවන්න එපා කියලා කිව්වා.”

එමෙන්ම එම පවුලේ වැඩිමල් දියණිය මෙසේ පැවසුවාය.

“අපි මේ අය නඟන චෝදනාවල ඇත්ත ඔප්පු කරන්න නොකරපු දෙයක් නෑ. කොළඹ ගිහිල්ලා ලේ පරීක්ෂාවන් කළා. එහෙම රෝගයක් නෑ කියලා වෛද්‍ය වාර්තා අපිට දීලා තියෙනවා. රෝහල්වල වෛද්‍යවරු අපිට කියනවා මේක සමේ ඇති වෙච්ච රෝගයක්. මේ එච්.අයි.වී. ඒඩ්ස් සමාජ රෝගයක් නෙවෙයි කියලා. මේක හොඳ කරලා දෙන්නම් කියලත් කියනවා. හැබැයි සමාජයේ අපට කියන්නේ ඒ හැදිලා තියෙන්නේ එඩ්ස් කියලා. අපිට තේරෙන්නෙ නෑ, කොහොමද මේකෙන් නිවැරැදි වෙන්නෙ කියලා. අපේ ගෙදරට අඩුම තරමේ ලියුමක් දෙන්න එන්නෙ නෑ. වතුර ටිකක් ළිඳකින් ගන්ඩ දෙන්නෙ නෑ. පාරේ යනකොට කට්ටිය කෙළ ගහලා පැත්තට බලනවා. අපට ඇහෙන්නම කුණුහරුපෙන් බනිනවා. මේ වේදනාව තවදුරටත් ඉවසගන්ඩ බැරි නිසා තමයි අපි හත්දෙනාම තීරණය කළේ ගේ ඇතුළට ගිහිල්ලා වස බීලා මැරෙමු කියලා. තව තවදුරටත් මෙහෙම අපිව අපහාස කරන්න ගියොත් මම වැඩිමල් අක්කා හැටියට තීරණයකට එන්න තමයි සූදානමින් ඉන්නේ. දඹුල්ල රෝහලේ දෙවිවරු වගේ ඉන්න වෛද්‍යවරු තමයි අපිට කිව්වේ මැරෙන්න එපා කියලා. එහෙම කිව්වෙ නැත්තං දැනටත් අපේ ගේ ඇතුලේ තිබිලා මිනි හත හොයාගන්න වෙන්නේ.”

“අම්මා කීයක් හරි එවනකල් ඉන්න ඕන අපි ජීවත් වෙන්න. අම්මා සල්ලි එවන්න පරක්කු වෙනකොට අපිට කන්ඩ බොන්ඩ විදිහක් නෑ. අපි බඩගින්නෙ ඉන්න වාර අනන්තයි. මොකද අහල පහළ කිසිම කෙනෙක් අපේ ගෙදරට එන්න යන්නෙ නෑ. කතා කරන්නේ නෑ. කඩේකින් බඩුවක්, මුට්ටුවක් දෙන්නේ නෑ. අපි දුර ගිහිල්ලා තමයි හාල් කිලෝ එකක් හරි ගේන්න යන්නේ. ඒත් තැන්තැන්වල කතා පැතිරිලා ගිහිල්ලා. අපි යනකොට මිනිස්සු අපිට විවිධ දේවල් කියනවා. ඇත්තටම අපි සමාජයට කිසිම වරදක් කරලා නෑ.”

මේ පිළිබඳව දඹුල්ල මූලික රෝහලේ රෝග පිළිබඳව විශේෂඥ

වෛද්‍ය සුදර්ශනී මහත්මියගෙන් විමසීමේදී කියා සිටියේ මෙම දරුවන් ප්‍රතිකාර සඳහා පැමිණි බවත්, එම අයගේ සමේ රෝගයක් පවතින බවය.

දීර්ඝ ප්‍රතිකාර ලබාදීමෙන් මෙම රෝගී තත්ත්වය සුව කළ හැකි බවත්, නිවැරැදිව වෛද්‍ය උපදෙස් පරිදි ප්‍රතිකාර ලබාගත යුතු බවද ඇය සඳහන් කළාය.

දඹුල්ල – කේ.කේ. ආරියදාස