මාකඳුරේ මධුෂ් හමුවීමට ඔහුගේ විවාහක බිරිය ගයානි මුතුමාලි පසුගිය කාලයේ ඩුබායි බලා ගොස් තිබෙනවා.
එහිදී ඇය සමග ගිය සිය දහඅට හැවිරිදි පුතුව මධුෂ් එහි නවතා ගත් බව ගයානි මුතුමාලි පොලිසිය වෙත පාපොච්චාරණය කරමින් පවසා ඇති බවයි පොලිස් ආරංචි මාර්ග පවසන්නේ.
දැනට කොළඹ ක්ෂේත්‍ර බළකා මුලස්ථානයට මාරු කර සිටින ජේයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි විජේගුණවර්ධන සිය කාර්යාලයට කැඳවා ඇය සමඟ කළ කතාවේදී ඇය මේ බොහෝ දේ හෙළි කර තිබුණා.
ගයානි මුතුමාලි නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉදිරියේ කළ පාපෝච්චාරණයේ ඇතුළත්වූ වැදගත් කරුණු කිහිපයක් මේ සමග කියවිය හැකියි.
“අපි යාළුවුණු මුල් කාලෙම මධුෂ්ලාට ගොඩාක් කරදර ආවා. 1988-89 අපේ පළාත්වල ලොකු භීෂණයක් තිබ්බා. මධුෂ්ගේ අම්මාව මරන්නෙ ඒ කාලෙදි. හමුදාවෙන් මැරුව කියලයි ආරංචි වුණේ. ඒත් එක්ක ම මල්ලිවත් මාතර වේල්ලදි මරල දාල තිබුණා. ඒ මරණ දෙක මධුෂ්ගෙ ජීවිතයට හරියට බලපෑවා. ඔය අතරෙ තමයි තාත්ත එයාලව දාල ගියේ.
මධුෂ් ඉගෙන ගන්න දක්ෂයි. සාමාන්‍ය පෙළ හොඳට පාස් වුණා. මේ කරදර නිසා එයාට දිගින් දිගට ම ඉගෙන ගන්න බැරි වුණා.
ඉස්කෝලෙන් අයින් වුණාට පස්සෙත් අපේ සම්බන්ධය දිගට ම තිබුණා. මධුෂ් ටිකක් දාමරික නිසාත් ඒ ගොල්ලන්ගේ පවුල්වලට ඇති වුණු ප්‍රශ්න නිසාත් අපේ අම්මයි තාත්තයි මේ සම්බන්ධෙට කොයි විදියෙන් වත් කැමැති වුණේ නෑ. ඒත් අපේ ආදරය දිගට ම තිබුණා.
ඕ ලෙවල් විභාගෙන් පස්සෙ ඉස්කෝලෙන් අයින් වෙලා එයා පුංචි පුංචි වැඩ කරන්න පටන් ගත්තා. අම්පාර පැත්තෙ ගරාජ් එකකත් ටික කාලයක් වැඩ කළා. එක එක දේශපාලකයො එයාව සම්බන්ධ කර ගෙන ඒ ගොල්ලන්ගෙ නොයෙකුත් වැඩ කර ගන්නත් පටන් ගත්තා.
විවාහ වුණායින් පස්සෙ මුලින් ම අපි කඹුරුපිටිය ගතාරේ මධුෂ්ගෙ ගමේ හිටියෙ. ඊට පස්සෙ අපේ ගම මාකඳුරේ වටේවෙල මහගෙදර වත්තෙත් හිටියා. අම්මල තාත්තලගෙ විරුද්ධකම් නැති වෙලා ගියා. මධුෂ් ත්‍රීවීල් එකක් එළෙව්වා. පස්සෙ ඒ රස්සාව අතඇරල අත්ට්‍රැක්ටරයක් අරගෙන ඒකෙත් වැඩ කළා. ඒ දවස්වල අපේ ජීවිත හරි සාමයෙන් සතුටින් ගෙවිල ගියා.
මේ අතර එක්තරා දේශපාලනඥයකු මාර්ගයෙන් මාතර මහ රෝහලේ මධුෂ්ට උපස්ථායකයකු ලෙස රැකියාව ලැබුණා.මම වැඩ භාර ගත්තේ කනිෂ්ඨ සේවිකාවක ලෙසයි.
ටික කාලයක් රැකියාව කළ මධුෂ් හදිසියේ ම එයින් ඉවත් වී මටත් රැකියාවෙන් වහාම අස්වන්නැයි බලපෑම් කළා.
මධුෂ්ගෙ ජීවිතේ වෙනස් වෙන්න පටන් ගත්තෙ එතන ඉඳලා. මං පුළුවන් තරම් කිව්වා. ඒත් පස්සෙ මට කරන්න දෙයක් තිබුණෙ නැහැ.
ඩැනී හිත්තැටියගේ අපේ නෑදෑයො වෙනවා. මේ ඔක්කොම ගැටුම් ඇති වුණේ ඉඩම් ප්‍රශ්න නිසා. අපි ඒ මිනිස්සුන්ට ඇති තරම් කිව්වා අපේ පාඩුවේ ඉන්න දෙන්න කියලා. ඇත්තම කිව්වොත් මධුෂ් ඒ කාලෙ ඒ අයව පුළුවන් තරම් මග ඇරලයි හිටියෙ. ඒත් අපට නොසෑහෙන්න කරදර කළා. උපනන්ද මධුෂ්ට ශාරීරිකවත් හරියට හිංසා කළා. මේ තාඩන පීඩන මැද්දෙ අපිට 2011 අවුරුද්දෙ පුතෙක් ලැබුණා. ඒත් එක්ක මේ කරදර මැද්දෙ ඉන්න බැරි නිසා මධුෂ් මට කතා කළා වෙන කොහේ හරි ගිහින් ජීවත් වෙමු කියලා. අපි අපේ ගමේත් මධුෂ්ගේ ගතාරේ ගෙදරත් විටින් විට දරුවත් එක්ක ජිවත් වුණා..
දරුවත් අරගෙන මම පහුගිය අගෝස්තු 11 වැනිදා සිංගප්පූරු ගියා. දරුවට දැන් අවුරුදු 18 ක්. ලොකු අසනීප තත්ත්වයක් තියෙනවා. මං ගියේ දරුවට බෙහෙත් ගන්න. පස්සෙ මං නාඳුනන දෙන්නෙක් එවල තිබුණා සිංගප්පූරුවට. ඒ ගොල්ල අපිව ඩුබායි එක්ක ගියා. ඩුබායිවලදි මට මධුෂ්ව හම්බ වුණා.
මට එදා මධුෂ් කිව්ව දරුව එයාට දෙන්න කියල. දරුවා එහෙ තියලා මට හිස් අතින් ගෙදර එන්න සිද්ධ වුණා. මට කරන්න දෙයක් තිබුණෙ නැහැ. මට මගේ පුතා ගැන පුදුම තරම් දුකයි.”