“අතේ තිබූ යමකට ඇඟිල්ලෙන් ඇන ඇන ගියා..”- සිසුවා සමග සිසුවියට මරු දකිනු සියැසින් දුටු දුම්රිය රියදුරු කියන කතාව

නාවලපිටිය ප්‍රදේශයේ දුම්රිය මාර්ගයේදී පෙරේදා (2) දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අනතුරට සම්බන්ධ සිසුවිය දුම්රිය නලා හඬ නඟන අවස්ථාවේ අතේ තිබූ යමකට ඇඟිල්ලෙන් ඇන ඇන ගිය බව දුම්රිය රියදුරු පොලිසියට ලබාදුන් කට උත්තරයේ සඳහන් වනවා.

මෙම අනතුරෙන් ඇය සමග තවත් සිසුවෙකු ජිවිතක්ෂයට පත් වුණා.

මෙසේ මියගොස් ඇත්තේ නාවලපිටිය ඉඹුල්පිටිය ප‍්‍රදේශයේ පදිංචි පියුමි භාග්‍යා සෙව්වන්දි නැමැති පාසල් ශිෂ්‍යාවක් හා නාවලපිටිය දෙකිඳ අලූත්ගම ප‍්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි ලලන්ග හර්ෂ කුමාර යන දෙදෙනායි.

මහනුවර සිට ඇල්ල බලා ධාවනය වූ සති අන්ත විශේෂ දුම්රියට නාවලපිටිය ජයසුන්දර ප‍්‍රදේශයේදී මොවුන් දෙදෙනා බිලිවී තිබෙනවා.

මියගිය පියුමි නාවලපිටිය නගරයේ පාසලක 10 වසර පන්තියේ ඉගෙනුම ලබන අතර ලලන්ග හර්ෂ මෙවර අ.පො.ස. (සා.පෙළ) විභාගයට පෙනී සිටි අයෙකු වන අතර මොවුන් නාවලපිටිය නරගයේ අතිරේක පන්තියකට පැමිණ මෙසේ දුම්රිය මගේ ගමන් ගනිද්දී අනතුරට මුහුණපා ඇති බව නාවලපිටිය පොලිසිය සඳහන් කළා.

මියගිය සිසුවාගේ පෙම්වතියද මෙම අතිරේක පන්තියට පැමිණෙන අතර ඇය මියගිය පියුමි භාග්‍යාගේ හොඳම යෙහෙළියද වන බව හෙළිවී තිබෙනවා.

අතිරේක පන්තියට පැමිණි මොවුන් තිදෙනාම නාවලපිටිය නරගයේ සිට දුම්රිය මගේම කතා බස් කරමින් ජයසුන්දර ප‍්‍රදේශයට පැමිණ ඇති අතර ලලන්ග හර්ෂත් ඔහුගේ පෙම්වතියත් දෑත් පටලවා කතා කරමින් යද්දී පියුමි භාග්‍යා ඔවුන්ට අඩි කීපයක් ඉදිරියෙන් ජංගම දුරකථනයේ දසුන් නරඹමින් ගොස් ඇති බවයි පොලිස් පරීක්ෂණවලදී හෙළිව ඇත්තේ.

මේ අතර පසු පසින් දුම්රිය පැමිණෙනවා දුටු ලලන්ග හා ඔහුගේ පෙම්වතිය දුම්රිය මාර්ගයෙන් ඉවත් වුවද දැඩි අවධානයෙන් ජංගම දුරකථනය දෙස බලමින් ගිය පියුමි මාර්ගයෙන් ඉවත් වී නොමැති අතර දුම්රිය හා ඇය අතර පරතරය ඉතා අඩු බව දැක ඇති ලලන්ග වහාම ඇය ඉවත් කිරීමට උත්සහ ගත්තද ඔවුන් දෙදෙනාම යටකර ගනිමින් දුම්රිය ඉදිරියට ගමන් කර තිබෙනවා.

නාවලපිටිය පොලිසිය දුම්රිය රියැදුරුගෙන් ප‍්‍රකාශයක් රැගෙන ඇති අතර එහිදී මොවුන් තිදෙනා දුම්රිය මගේ ඉදිරියට ගිය බවත් පසුපසින් පැමිණි දුම්රිය නලා හඬ නඟන අවස්ථාවේ දෙදෙනෙක් ඉවත් වුවත් මොවුන්ට ඉදිරියෙන් ගිය ශිෂ්‍යාව අතේ තිබූ යමකට ඇඟිල්ලෙන් ඇන ඇන ගියද නළා හඬ ඇයට නොඇසෙන තරමට ඒ සඳහා අවධානය යොමු කර සිටි බවද ඒ සමග ඇය දෙසට මෙම සිසුවා පනිනවාත් සමග දෙදෙනාම දුම්රියේ ගැටුණු බවත් ප‍්‍රකාශ කොට තිබුණා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *