සේවකයෙක් කකුල් දෙකෙහි සඟවා හොර රහසේ රන් බිස්කට් පිටතට රැගෙන ඒමට තැත් කරද්දී අත්අඩංගුවට

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ තීරු බදු රහිත කඩසාප්පුවක සේවකයෙකු ඔහුගේ කකුල් දෙකෙහි සඟවා රන් රුපියල් ලක්ෂ 410කට අධික වටිනාකමින් යුත් බිස්කට් 40ක් සහ ස්වර්ණාභරණ නීතිවිරෝධීව ගුවන්තොටුපළෙන් පිටතට රැගෙන ඒමට උත්සය කිරීමේදී රේගු මත්ද්‍රව්‍ය නිවාරණ අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

අද(22) උදෑසන කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක ලාල් වීරකෝන් මහතා පැවසීය.

අදාළ සැකකරු ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ ඇති විදුලි උපකරණ භාණ්ඩ අලෙවි කරන සාප්පුවක සේවය කරන 26 හැවිරිදි , වත්තල ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.

ඔහු මීට පෙර අවස්ථා දෙකකදී ද මේ ආකාරයට රත්තරන් ගුවන් තොටුපළෙන් පිට කිරීම සම්බන්ධයෙන් රේගු අත්අඩංගුවට පත් වූ අයෙකි.

මෙම තරුණයා තම දෙකකුල්වල , දණහිසට පහලින් ඇති බත් කෙණ්ඩ ප්‍රදේශවල පාර්සල් 05ක් ලෙස සකස් කර, සුදු පැහැති ගම් ටේප් යොදා අලවා ගෙන තිබුණි.

මේ ආකාරයට තම සිරුරේ මෙම රත්තරන් සගවා  ගෙන 10/22 දින උදෑසන 9.00 ට පමණ , ගුවන් තොටුපළෙන් පිට වීම සදහා , තම සාප්පුවෙන් පිටතට පැමිණෙමින් සිටියදී රේගු නිලධාරීන් විසින් මොහු අත් අඩංගුවට ගෙන තිබුණි.

එහි ග්‍රෑම් 100 බැගින් බර වූ රන් බිස්කට් 40 ක් සහ කිලෝ ග්‍රෑම් 01 යි , ග්‍රෑම් 400 ක් බර ස්වර්ණාභරණ තොගයක් ද තිබූ බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේය.

තමන්ට ගුවන් මගින් පැමිණි ගුවන් මගියෙකු විසින් මෙම රත්තරන් තොගය ගුවන් තොටුපළෙන් පිට කිරීම සඳහා තමන්ට භාර දුන් බවත්, මෙම කටයුතු ඩුබායි සිටින ව්‍යාපාරිකයෙකු මගින් සම්බන්ධීකරණය කළ බවත්, මෙම තරුණයාගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීම් වලදී රේගු නිලධාරීන් අනාවරණය කරගෙන තිබුණි.

බුද්ධි තොරතුරු පදනම් කර ගනිමින් මෙම අත්අඩංගුවට ගැනීම නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන නුවන් අබේනායක සහ රසික සමන්ජිත් විසින් සිදු කර තිබුණි.

මේ පිළිබඳව වැඩිදුර විමර්ශන ගුවන් තොටුපළ රේගුව විසින් සිදු කරයි

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *