දේශගුණික විපර්යාස සමුළුව ඇමතීමට ස්වීඩනයේ ඉඳන් රුවල් නැවකින් ඇමෙරිකාවට ආපු පුංචි කෙල්ල

“දේශගුණික විපර්යාසය අද මානව සංහතිය මුහුණ දෙන බරපතළම ගැටලුවයි. එය මිනිසා විසින් මහපොළොවට කරමින් පවතින අනර්ථකාරී ක්‍රියා සමුදායක ප්‍රතිඵලයයි. මම මේ සඳහා මට කළ හැකි උපරිම උත්සාහය අර ගන්නවා…”

“සැප්තැම්බර්යේ නිව්යෝර්ක්හි පවත්වන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශගුණික සමුළුවට සහභාගි වීමට පරිසර දූෂණය ඇති නොවන විදියට අප පැමිණියේ රුවල් බෝට්ටුවෙන්. අපි සැලසුම් කළ ලෙසම සියල්ල සිදු වූවා…”

“මගේ කණ්ඩායමෙන් මට උපරිම සහාය ලැබුණා. ඒ පිළිබඳව ඔවුන්ට මා ස්තුතිවන්ත වෙනවා. වාසනාවට මට එක වරක්වත් Sea sickness හැදුණේ නෑ. දින ගාණක් මුහුදේ ගමන් කොට තවමත් මගේ දෙපා යට පොළොව සසල වෙනවා වගේ මට දැනෙන්නේ…”

දහසය හැවිරිදි ගේ‍ර්ටා තන්බර්ග් දැරිය Unite behind the Science රුවල් බෝට්ටුවකින් අත්ලාන්තික් සාගරය හරහා ස්වීඩනයේ සිට කි.මී. 5550ක් මඟ ගෙවා නිව්යෝක් වරායට ගොඩ බැස්ස විගස පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවට මුහුණ දුන්නේ එසේය.

ගමනට දින පහළොවක් ගත වී තිබිණි. ඇගේ අරමුණ වූයේ ගුවන් ගමන් වෙනුවට විකල්ප යොදා ගන්නා ලෙස ආයාචනා කිරීමත් පරිසර දූෂණය පිළිබඳ විද්‍යාත්මකව සිතීමට පෙලඹවීමත්ය. විඩාපත් වතින් එහෙත් සිනාමුසුව කතා කළද රැස්ව සිටි පිරිසගෙන් සිවු දෙසින්ම ඇයගෙන් කළ විමසීම්වලට ඇය පිළිතුරු දුන්නේ බැරෑරුම් වගකීමක් සහිත වැඩිහිටි තැනැත්තියක මෙනි.

තමාගේ අරමුණ වෙනුවෙන් ඇය කෙතරම් කැපවීමකින් කටයුතු කරනවාද යන්න ඇය විසින් ලෝකයට පෙන්වා දී ඇත.

මාධ්‍යයෙන් එක් කළ ප්‍රශ්නයකට නිර්භයව එක එල්ලේ පිළිතුරු දුන්නේ මෙසේය.

“ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධව හැමෝම මගෙන් අහනවා. මම ඔහුට දෙන පණිවුඩය නම් මේ විපර්යාස උච්ච අවස්ථාවට එන්න පළමු අපට ස්වභාවධර්මය විසින් දෙන විද්‍යාත්මක සංඥා වෙත අවධානය යොමු කරන්න. ඒත් ඔහු එය කරන බවක් නම් පේන්නෙ නැහැ. ඒ නිසා මම මගේ අවධානය යොමු කරන්නේ ජනතාව දැනුවත් කිරීමට. අප නඟන හඬට ප්‍රතිචාර නොලැබෙන විට අප කලකිරීමට පත් වන වාර තිබෙනවා. එයින් අධෛර්යවත් නොවී නොකඩවා ඉදිරියට යෑමයි අවශ්‍ය. එහෙත් ජනතාවගේ හඬට දේශපාලනඥයන්ට සවන් දෙන්නට සිදු වන දිනක් ඒවි…”

මුහුදු ගමන ගැන ඇගේ අදහස් මෙසේ විය.

“නිහඬ නිසල සාගරයේ සුන්දරතාව දෙස ලෝකයේ සියලු කලබලකාරීත්වයෙන් මිදී සාමයෙන් යුතුව පැය ගණනාවක් එක දිගට බලා සිටීමට මට ලැබුණු අවස්ථාවට මම ආදරය කරනවා. එය යළි නොලැබෙන පාළුව දැනේවි…”

පැමිණ සිටි පිරිසගේ ඔල්වරසන් හඬ අතරින් ඇය පැවසුවේ “අප තවදුරටත් පමා නොවී අදම මේ කාර්යයට අත ගසමු. හෙට වන විට අප පමා වූවා වැඩි විය හැකි බැවිනි. එක්සත් ජාතීන්ගේ සැසිවාරය සැප්තැම්බරයේ එනවා. ලෝක නායකයන් දේශගුණ විපර්යාස ගැන සංවේදී වී නිසි තීරණ තීන්දු ගනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා…” යනුවෙනි.

2003 වසරේ උපත ලද ස්වීඩනයේ පාසල් දැරියක වූ ගේ‍ර්ටා තන්බර්ග් ලෝක දේශගුණික ප්‍රශ්න ඇති වන ආකාරය පිළිබඳ සංවේදී වන්නේ අවුරුදු සතක දැරියක්ව සිටි කාලයේ සිටමය.

ඇය පරිසරයට අනර්ථකාරී ක්‍රියා වළක්වන ලෙස ඉල්ලමින් ස්වීඩන් පාර්ලිමේන්තුව ඉදිරියේ පාසල් වර්ජනයක් දියත් කළේ පසුගිය වසරේය. බොහෝ පරිසර සංවිධාන ඇය හා එක් වූවාය.

Fridays for Future. යනුවෙන් හැඳින්වූ මෙම උද්ඝෝෂණ සෑම සතියකම සිකුරාදා දිනයන් යොදා ගනිමින් සිදු වේ. 2018, දෙසැම්බර් වන විට රටවල් 270ක 20,000ට වඩා සිසුන් මේ උද්ඝෝෂණයට එක්වී ඇත.

“next generation leader” ලෙස හඳුන්වමින් ටයිම්ස් සඟරාව විසින් ඇගේ පින්තූරයෙන් එහි මුල් පිටුව සරසන ලදී. Make the World Greta Again යනුවෙන් නම් කළ විනාඩි 30ක රූපවාහිනි වැඩසටහන් මාලාවක්ද ඇය නමින් ක්‍රියාත්මකය. ඇය විසින් ගෙන යන ක්‍රියාමාර්ගය “ගේ‍ර්ටා තන්බර්ග් බලපෑම” ලෙස හැඳින්වේ.

ඇය පසුගිය වසරේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ UN Climate Change COP24 Conference අමතා වටිනා දේශනයක් කළාය.

“වෙනසක් කිරීමට අප කොතරම් කුඩාද යන්න බලපාන්නේ නැහැ. ලෝක නායකයන් වන ඔබලා ලෝකය විනාශ කරන ජනප්‍රිය ක්‍රියාමාර්ගවලම නිරත වෙනවා. එයින් ඇති වන සියලු ඛේදයන්, පීඩනයන් කුඩා අප ඇතුළු මතු පරම්පරාවට ඉතිරි කරනවා. අතළොස්සකගේ සුර සැප සඳහා සියල්ලන්ටම ජීවත්වන්නට තිබෙන ජීව ගෝලය විනාශ කර දමනවා. 2078දී මම මගේ හැත්තෑපස් වැනි උපන් දිනය සමරනවා. එදිනට මගේ දරුවන්ගේ දරුවන් ඔබලා ගැන අසාවි. ඇයි ඔවුන් මෙවැනි තත්ත්වයකට ලෝකය පත් වන තුරු කිසිවක් නොකළේ කියා අසාවි…”

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *