ප්‍රවීණ සංගීතඥයෙකු වන එච්.එම් ජයවර්ධන කලාකරුවාණන් සිය දිවි ගමන නිම කළ බව TRUENEWS.LK මෙලෙස සැළකර සිටිනු ලැබේ.
මිය යන විට ඔහු 69වන වියේ පසුවිය.
කලුබෝවිල ආරෝග්යශාලාවේදී ප්‍රතිකාර ලබමින් සිටින විට ඔහු මෙසේ අභාවප්රප්ත වී ඇත.
ඔහු ගායක කසුන් කල්හාර මහතාගේ පියා වන අතර නැසීගිය ගායන ශිල්පිනී මාලනී බුලත්සිංහල මහත්මියගේ ආදරණීය සැමියායි.
සමුගත් ආදරණිය කලාකරුවාණන්ගේ අතීත මතක සටහන් පහතින් අපි ගෙනහැර දක්වමු.
‘එච්.එම් විජේසුන්දර හා ඩී.එම් පුංචි මැණිකා යුවළට උපන් වැඩිමහල් පුත්‍රයා නම් දරන්නේ එච්.එම් ජයවර්ධන ලෙසනි.
මොනරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව ගම්මානයේ ළමා කාලය ගත කරන ඔහු පහ වසර ශිෂ්‍යත්ව විභාගය වනතුරු අධ්‍යාපනය ලබන්නේ සියඹලාණ්ඩුව මහා විද්‍යාලයෙනි.
පහ වසර ශිෂ්‍යත්වය සමත්ව පස්සර මධ්‍ය මහා විද්‍යාලයට යොමුවන එච්.එම් ජයවර්ධන ශිෂ්‍යයා එම පාසලේ නේවාසිකව අධ්‍යාපනය ලබන්නේය.
ඔහු අධ්‍යයන කටයුතුවල නිරත වන කාලයේදී එම පාසලේ සිටි ජපන් මැණ්ඩලීනයක් හා බටනළාවක් හිමි කිරිවන්ත නම් මිත්‍රයා හමුවන්නේය.
වාදනයට වැඩි ඇල්මක් දක්වන ඔහු එක් පාසල් නිවාඩු සමයක මිතුරාට ශත පනහක් ලබා දී නිවාඩු කාලය සඳහා බටනළාව රැගෙන සියඹලාණ්ඩුව ගමට යන්නේය.
එහිදී කාටත් හොරා බටනළා වාදනය කරන්නට යොමු වන්නේය.
පාසල තුළදීද සැඟව බටනළා වාදනය කරන ඔහුගේ හැකියාවන් පාසලේ සංගීතය ඉගැන්වූ පී.ඒ සුබසිංහ නම් සංගීත ගුරුවරයා හඳුනා ගන්නේය.
අනතුරුව සංගීතය හදාරන්නට යොමුවන ඔහු නැවත ගමට පැමිණෙන්නේය. එච්.එම් ජයවර්ධන නම් තරුණයාට ගුවන්විදුලි වාදක මණ්ඩලයේ බටනළා වාදකයෙකුගේ ඇබෑර්තුවක් ඇති බව දැනගන්නට ලැබෙන්නේ ගම තුළ සිට විවිධ රැකියා කරන අතරේදීය.
ගමේ හිතවතුන් කිහිප දෙනෙකුගේ මුදල් ලබාගෙන සම්මුඛ පරීක්ෂණයට යොමුවන ඔහු ඉන් අසමත් වන්නේය.
වරක් නොව ගුවන්විදුලි සංස්ථාවේ බටනළා වාදකයෙක් බඳවා ගැනීමට තිබූ සම්මුඛ පරීක්ෂණ දෙකකින්ම අසමත් වන්නේය.
ඒ කෙසේ වුවත් බටනළා වාදනය අත්නොහරින එච්.එම් ජයවර්ධනයන් පණ්ඩිත් අමරදේවයන් සොයා රත්මලානට පැමිණෙයි. ඔහුගේ වාදන හැකියාව පෙන්වූ පසු පණ්ඩිත් අමරදේවයන් විසින් නැවත ගුවන්විදුලි සංස්ථාවට පැමිණෙන්න යැයි ඔහුට කතා කරයි.
පණ්ඩිත් අමරදේවයන්ගේ හා වසන්ත ඔබේසේකරයන්ගේ සහායෙන් සෝමදාස ඇල්විටිගලයන් මූලික වූ ගුවන්විදුලි සංස්ථාවේ වාදක මඬුල්ලේ බටනළා වාදකයෙකු ලෙස කටයුතු කිරීමට අවකාශය සැලසෙන්නේය.
අනතුරුව ඔහු අතින් ගීත දහසකට පමණ තනු නිර්මාණය වන්නේය. චිත්‍රපට පසුබිම් සංගීතයටද දායක වන එච්.එම් ජයවර්ධන නම් සංගීතවේදියා සිදුකළ අමතක නොවන මතකයක් අදටත් බොහෝදෙනා තුළ ඇත. ඒ ‘මුහුදු ලිහිණි’චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය වෙනුවෙන් හොඳම සංගීත අධ්යක්ෂණයට හිමි සම්මානය හිමි වුවද ඔහු එය ප්‍රතික්ෂේප කිරීමයි.
එය හිමිවිය යුත්තේ ප්‍රේමසිරි කේමදාසයන්ට යැයි ඔහු එහිදී සඳහන් කරන්නේය