හම්බන්තොට තෙල් පිරිපහදුවත් මතබේදයට තුඩු දේ

ආන්දෝලනයට තුඩු දී ඇති හම්බන්තොට තෙල් පිරිපහදු ව්‍යාපෘතිය සම්බන්ධයෙන් රජයේ වගකිවයුතු ඇමතිවරුන් මේ වනවිට පරස්පර ප්‍රකාශ සිදු කරමින් සිටිනවා.

මෙරට දැවැන්තම ආයෝජනය ලෙස නම් කරමින්, පසුගිය ඉරිදා මුල්ගල් තැබුණු හම්බන්තොට මිරිජ්ජවිල තෙල් පිරිපහදු සංකිර්ණ ආයෝජනය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා තමා හා කබීර් හෂිම් අමාත්‍යවරයා ඕමානය බලා පිටත්ව යන බව මලික් සමරවික්‍රම සිකුරාදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

“මේ ප්‍රොපෝසල් එක අපිට බී ඕ අයි එකට ලැබුණු විදියට තමයි අපි ඒක ප්‍රකාශ කෙරුවේ. ඒ ආයතනයේ අධ්‍යක්ෂකතුමයි ඔබතුමාම දැක්කා ඔමානේ ඇමතිතුමයි ඇවිල්ලා තමයි මුල් ගල් තිබ්බේ.දැන් ඕමානේ ඇමතිතුමා කබීර් ඇමතිතුමාටයි මටයි ආරාධනා කරලා තියනවා ඕමානෙට එන්න කියලා මැයි මාසේ හතරවෙනිදා”

එහෙත් මේ සම්බන්ධයෙන් කබීර් හෂිම් පළ කළේ, ඊට වෙනස් අදහසක්.

“මේ සාකච්ඡාව වෙන කාරණාවක්. මේක ඛණිජතෙල් සංස්ථාව එක්ක සහ ඛණිජ තෙල් සම්පත් අමාත්‍යංශය එක්ක කටයුතු කිරීම සඳහා කතාකරන්න අපි යන්නේ. මගෙ නිලධාරින්ලා දැනට ඔමාන් රජයේ තෙල් හා වායූ සම්බන්ධ අමාත්‍යංශය එක්ක සාකච්ඡා කරගෙන යනවා අපට රජයන් දෙකක් හැටියට වැඩකටයුතු කිරීම සඳහා ඉදිරියේදී පුළුවන් ක්‍රම මොකද්ද කියලා ඒ ගැන කතා කරලා අවශ්‍යතාවයක් තියෙනව නම් නිලධාරින්ලා යනවා, ඉන් පසුව මම යනවා“

ප්‍රශ්ණ ගත ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මීට පෙරද අවස්ථා කිහිපයකදී පරස්පර අදහස් මතුවුණා.

මෙම ව්‍යාපෘතිය පිළිබඳව නලින් බණ්ඩාර අමාත්‍යවරයා මාධ්‍ය හමුවකදී ඉතා පැහැදිලිව කියා සිටියේ මෙම ව්‍යාපෘතියට ඕමාන සම්බන්ධයක් ඇති බවයි

ඕමාන තෙල් අමාත්‍යාංශය මෙම ව්‍යාපෘතිය පිළිබඳ පුවත වහාම ප්‍රතික්ෂේප කළ අතර එම ස්ථාවරය වෙනස් කළ බව තවමත් කිසිදු වාර්තාවක් පළ වී නැහැ.

මෙහි ප්‍රධාන ආයෝජකයා ලෙස රජය හඳුන්වා දුන් සිල්වර් පාර්ක් පෙට්‍රෝලියම් ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු වන ඉන්දියානු දේශපාලනඥ ජගත්රක්ෂකන්, රොයිටර් පුවත් සේවයට පවසා තිබුණේ තමන් මෙම ව්‍යාපෘතිය පිළිබඳව ඉදිරිපත් කළේ ඉතාම ප්‍රාථමික ලියවිල්ලක් බවයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *