බන්ධනාගාරයේ සිට ඌරුජුවාගෙන් නියෝගයක්. ‘ඉන්දාගේ බෙල්ල අයිඑස් ක්‍රමයට කපපන්’

මුළු පාතාලෙම හෙල්ලෙන විදිහෙ වැඩක් උඹලා කරන්න ඕන. අර අයි එස් අයි එස් කාරයෝ වගේ ඉන්දව මරලා උගේ බෙල්ල කපලා ඔළුව ඇඟ උඩින් තියපං… එතකොට මුළු කඩුවෙල පළාතම හෙල්ලිලා යනවා.

වැලිකඩ බන්ධනාගාරයේ අඳුරු සිරකුටියක සිට ඌරුජුවා සිය පාතාල කල්ලියේ මදාවියකු වන ගයියාට උපදෙස් දුන්නේය. ගයියා යනු කිසිම හිතක් පපුවක් නැති අමනුෂ්‍යයකු ලෙස ප්‍රසිද්ධ පාතාල මැරයෙකි.

අහිංසක මිනිසුන් මන්නා පිහිවලින් කපා කොටා තුවාල කර ඝාතනය කිරීමට තරම් දරුණු හිතක් ඇති මේ පාපතරයා පසුගිය කාලයේ සිදු කළ මිනිස් ඝාතන අපරාධ ගණනාවකි. ඌරුජුවා සහ ගයියා අතර දුරකථන සංවාදය තවදුරටත් සිදුවෙමින් තිබුණේය. ‘‘ඉන්දා ජීවතුන් අතර හිටියොත් ඒක අපේ ඉදිරි ගමනට ලොකු බාධාවක්. මට එළියට ඇවිත් නිදහසේ ඉන්න ලැබෙන්නෙත් නැහැ. ඒනිසා මං එළියට එන්න ඉස්සර ඉන්දා අවසන් ගමන් යන්න ඕන.’’

ඌරු ජුවා මේ බව ගයියාට කීවේ තරමක දැඩි ස්වරූපයකින්ය.

හරි හරි උඹ කිසිදේකට බය වෙන්න එපා. උඹට ළඟදීම කඩුවෙලට එන්න පුළුවන් විදිහට අපි වැඩ ටික කරලා දෙන්නම් ගයියා තම පාතාල කල්ලියේ ප්‍රධානියාගේ සිත සැනසුවේය.

‘‘ඉන්දා යන එන තැන් හොයන්න මම අපේ ළඟ ඉන්න ගේම සෙට් එකක් දාලා ඉන්නේ…. වැඩේට ඕනෙ කරන ආයුධ උඹලාට ලැබෙයි. ඉන්දාට ගහන ප්ලෑන් එක මම වෙලාවට දෙන්නම්. ඉන්දා ඝාතනය කිරීමේ නියෝගය ඌරුජුවා විසින් තම කල්ලියේ අළුගෝසුවා ලෙස සැලකෙන ගයියාට භාර කළේය.

මේ දුරකථන සංවාදය සිදු වන්නේ මීට සති කීපයකට උඩදීය. මිනිස් ඝාතන කප්පම් ගැනීම් මිනිසුන් කපා කොටා බරපතළ තුවාල සිදු කිරීම් ඇතුළු තවත් අපරාධ රැසක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ ඌරුජුවා මේ වනවිට සිටින්නේ වැලිකඩ බන්ධනාගාරයේය.

ඌරුජුවා දරුණු අපරාධකාරයකු නිසා කලක් ඔහු රඳවා සිටියේ අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේය. අඟුණකොළ-පැලැස්ස බන්ධනාගාරයට දුරකථන පහසුකම් මෙන්ම අනෙකුත් පහසුකම් සලසා ගැනීම අපහසු කටයුත්තකි. ඒ මන්ද යත් එහි ආරක්‍ෂක කටයුතු සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා තිබීම සහ බන්ධනාගාරය තුළ පවා දැඩි ආරක්‍ෂක ක්‍රමවේදයක් අනුගමය කිරීමය. ඒ නිසා තමන්ට දුරකථන පහසුකම් මෙන්ම අනෙකුත් පහසුකම් ලබා ගැනීමට ඌරුජුවා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයෙන් වැලිකඩ බන්ධනාගාරයට මාරුවක් ලබාගත්තේය.

ඒ අපේ රටේ බන්ධනාගාරවල හැටිය. අපේ රටේ බන්ධනාගාර තරම් අපරාධකරුවන්ට අවශ්‍ය පහසුකම් ලබාදෙන බන්ධනාගාර ලොව වෙනත් කිසිම රටක නැති තරම් ය. අපේ බන්ධනාගාර පාලකයන් හැමවිටම කටයුතු කරන්නේ සිරකරුවන් ද මනුෂ්‍යයන් ය යන මතයේ සිටය. ඌරුජුවා සහ ඉන්දා බද්ධ වෛරක්කාරයන් ය. ඌරුජුවා මෙහෙයවන පාතාල කල්ලිය සහ ඉන්දා නායකත්වය දෙන කල්ලිය අතර ගැටුම් මේ වනවිට උග්‍ර අතට හැරී ඇත්තේය.

කඩුවෙල පාතාලයේ මහ කෙරුමා ලෙස හැඳින් වූ රණාලේ සමයා මෙහෙය වූ පාතාල කල්ලියේ සාමාජිකයන් වූ ඌරුජුවා සහ ඉන්දා මේ වනවිට බද්ධ වෛරක්කාරයන් බවට පත්ව සිටින්නේ පාතාල බලය අත්පත් කරගැනීම සඳහාය. කළුතර එතනමඩලදී බන්ධනාගාර බස් රථයට ප්‍රහාර එල්ල කර කඩුවෙල සමයා ඇතුළු පිරිස ඝාතනයට ලක්වන්නේ ඉකුත් 2017 වර්ෂයේ පෙබරවාරි 27 වැනිදාය. කඩුවෙල සමයා මරා දැමීමෙන් පසු කඩුවෙල පාතාල කල්ලියේ ඊළඟ නායකත්වය පිළිබඳව ගැටලූවක් මතුව තිබුණේය.

ඌරුජුවා යනු කාලකණ්නි චරිතයකි. රණාලේ සමයා පසුපස යමින් විවිධ අපරාධවලට සම්බන්ධ වූ ඌරුජුවා කිසිම උගත්කමක් නැති නිකම්ම නිකං හිස් මිනිසෙකි. මොහු ඕනෑම තිරිසන් වැඩක් කළ හැකි මානසිකත්වයක් ඇති එකෙකි. රණාලේ සමයාගේ කල්ලියේ මන්නා පිහිවලින් මිනිසුන් කපා කොටා තුවාල කිරීම ඝාතනය කිරීම සඳහා වෙනම කල්ලියක් සිටියේය. ඌරුජුවා සහ ඉන්දා සිටියේද මේ මන්නා පිහි කල්ලියේය.

මාබුලගේ දිනිත් මෙලාන් මාබුල නොහොත් ඌරුජුවා කඩුවෙල ප්‍රදේශයේ ඉපිද හැදී වැඩුණු පුද්ගලයෙකි. මීට වසර හය හතකට උඩදී රණාලේ සමයාගේ කල්ලියට සම්බන්ධ වූ ඌරුජුවා මේ වනවිට සිදු කර ඇති අපරාධ බොහෝමයකි.

ඌරුජුවා දැඩි ලෙස කෝපයට පත්වන චරිතයකි. මොහුට නිතරම ඌරුජුවල් යන නිසා ඌරුජුවා යනුවෙන් කාලයක පටන් හිතවතුන් හඳුන්වනු ලැබූහ. දිනිත් මෙලාන් මාබුල ඌරුජුවා වූයේ ඒ ආකාරයටය.

රණාලේ සමයා ඝාතනයට ලක්වීමෙන් පසු කඩුවෙල, නවගමුව, අතුරුගිරිය, මාලඹේ ඇතුළු ප්‍රදේශ ගණනාවක ව්‍යාපාරිකයන්ගෙන්, ධනවත් පුද්ගලයන්ගෙන්, ව්‍යාපාරික ස්ථානවලින් කප්පම් ලබා ගැනීමට පටන් ගන්නේ ඌරුජුවා විසින්ය. මේ කප්පම් හරහා ලැබුණු විශාල ධනය බෙදා ගැනීමේදී ඌරුජුවා සහ ඉන්දා අතර ගැටුම් ඇති වුණේය.

කඩුවෙල පාතාල බලය අල්ලා ගැනීමට ඉන්දා ද කෙළ හලමින් සිටියේය. එහෙත් ඌරුජුවාගෙන් ඉන්දාට එල්ල වුණේ විශාල අභියෝගයකි.

‘කඩුවෙලට අන්ඩවර්ල්ඞ් ලීඩර්ස්ලා දෙන්නෙක් ඉන්න බැහැ. උඹ මම කියන විදිහට අපේ ටීම් එකේ ඉන්න බැරි නම් පලයං…’

ඌරුජුවා අවස්ථා කීපයකදීම ඉන්දාට තර්ජනය කර තිබුණේය. මේ පාතාල බල අරගලය උච්චතම අවස්ථාවට පත්වීමෙන් පසු ඌරුජුවා සහ ඉන්දා කලක් එකට සිටි පාතාල කල්ලියෙන් වෙන් වූහ. ඉන්දා හංවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වුවද රණාලේ සමයා සමග එකට කඩුවෙල පාතාලයට සම්බන්ධ වී සිටියේය.

ඌරුජුවාගේ කල්ලියට ගයාන් මධුසංක නොහොත් ‘ගයියා‘ නයන කුමාර මුණසිංහ නොහොත් ‘මුණයා’ ශානුක ශලින්ද සිල්වා, නඳුන් රත්නායක නොහොත් නන්දා ඇතුළු පාතාල මැරයන් පිරිසක් එක්ව සිටියහ.

කඩුවෙල වෙනම පාතාල කල්ලියක් බිහි කරගත් ඉන්දා ඌරුජුවාගේ කල්ලියට එරෙහිව සටන් කරන්නට පටන් ගන්නේ කෙසේ හෝ පාතාල බලය තමන් අතට ගන්නා අරමුණ ඇතිවය.

සුභාෂ් මධුෂාන්, උපුල් කිත්සිරි, බෙලිගොඩගෙදර සුරේෂ්, කළුආරච්විගෙ දිල්ෂාන්, තුෂාර ඇතුළු තවත් මැරයන් පිරිසක් ඉන්දාගේ කල්ලිය වටා එක්ව සිටියහ. මත්ද්‍රව්‍ය, මත්පැන් පානය නොකළ ඉන්දා මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ වූයේද නැත.

ඉන්දාගේ කල්ලියේ ප්‍රධාන ආදායම් මාර්ගය වූයේ ද කඩුවෙල සහ අවට ප්‍රදේශවල ධනවතුන්ගෙන් කප්පම් මුදල් ලබා ගැනීමයි. වැලි පොළවල්වලින් කප්පම් මුදල් ලබාගැනීම කර්මාන්ත ශාලාවලට කම්කරුවන් සපයාදී මුදල් ලබා ගැනීම හරහා ද ඉන්දා මාසිකව විශාල මුදලක් ලබා ගත්තේය.

මේ සියලූ ව්‍යාපාර ඌරුජුවා ප්‍රමුඛ පාතාල කල්ලිය විසින් ද සිදු කළහ. ඌරුජුවා ඉන්දා දෙපාර්ශ්වය අතර ගැටුම් උත්සන්න වන්නේ ද මේ ජාවාරම්වල බලය තමන් සතු කර ගැනීමට යෑම නිසාය.

වැලි රාජු හංවැල්ල ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ වැලි ව්‍යාපාරිකයෙකි. වැලි රාජු ඉන්දාගේ සමීප හිතවතකු නිසා කඩුවෙල පාතාලයෙන් ඔහුට කිසිම තර්ජනයක් තිබුණේ නැත.

රණාලේ සමයා ඝාතනය වීමෙන් පසු ඌරුජුවා හංවැල්ලේ වැලි රාජුගෙන් මාසිකව කප්පම් මුදල් ඉල්ලා සිටියේය. ඌරුජුවාට කප්පම් දීම වැලි රාජු ප්‍රතික්‍ෂේප කළේය. ඒ වනවිට ඌරුජුවා සහ ඉන්දා අතර ගැටුම් හටගෙන තිබුණේය.

‘‘උඹ ඔය ඌරුජුවා කියන ඒවා කරන්න යන්න එපා මොනව හරි වුණොත් මම බලාගන්නම්. ඕකා ඔය කියන තරම් කෙරුම්කාරයෙක් නොවෙයි.

ඉන්දා තම මිතුරා වූ වැලිරාජුගේ පැත්ත ගත්තේය. ඒ වනවිට ඌරුජුවා සිටියේ බන්ධනාගාරගතවය. ඌරුජුවා තම කල්ලියේ සාමාජිකයන් දෙදෙනකු වැලිරාජුගේ නිවසට පිටත් කර හරින්නේ කප්පම් මුදල් ලබා ගෙන එන ලෙස දන්වමින්ය.

ඌරුජුවාගේ ගෝලයන් කප්පම් ලබා ගැනීම සඳහා වැලිරාජුගේ නිවසට පැමිණ සිටින බව ඇසීමෙන් ඉන්දා දැඩි ලෙස කෝපයට පත් වුණේය. ඉන්දා තම කල්ලියේ සාමාජිකයන් පිරිසක්ද රැගෙන වැලි රාජුගේ නිවසට ගොස් එහි සිටි ඌරුජුවාගේ ගෝලබාලයන්ට අමානුෂික ලෙස පහර දුන්නේය.

‘තොපි ආයේ මේ හතරමායිමට එන්න එපා කප්පම් ගන්න. තොපේ මහ එකා ඌරුජුවාට කියපං ඉන්දා ඉන්නකල් හංවැල්ලේ සෙල්ලං දාන්න හම්බ වෙන්නේ නැහැ කියලා. ඉන්දාගෙන් පහර කෑ ඌරුජුවාගේ ගෝල බාලයන් රෝහල්ගත කෙරිණි. තම කල්ලියේ සාමාජිකයන්ට පහර දුන් බව සැලවීමෙන් ඌරුජුවා දැඩි ලෙස කෝපයට පත් වුණේය. ඌරුජුවා එදින රාත්‍රියේම තම කල්ලියේ සාමාජිකයන් පිරිසක් හංවැල්ල ප්‍රදේශයේ පිහිටි වැලිරාජුගේ නිවස වෙත පිටත් කර යැව්වේය.

ඌරුජුවාගේ ගෝලබාලයන් වැලි රාජුගේ නිවසට පහර දී ඊට ගිනි තබා විනාශ කර දැමුවේ තම පාතාල බලය පෙන්වීමටය.

මේ සිදුවීමෙන් පසු ඌරුජුවා සහ ඉන්දා බද්ධ වෛරක්කාරයන් බවට පත් වූහ.

ඌරුජුවාගේ සහ ඉන්දාගේ කල්ලියේ සාමාජිකයන් අතර නිතර නිතර ගැටුම් ඇති වන්නට පටන් ගත්තේය.

ඉකුත් වසර මුල් භාගය වන විට මේ ගැටුම් උත්සන්න වී තිබිණි. ඌරුජුවාගේ සහ ඉන්දාගේ කල්ලිවල සාමාජිකයන් එකිනෙකා මරා ගැනීම ඒ වනවිට ආරම්භ වී තිබුණේය.

ඉන්දාගේ කල්ලියේ ප්‍රබලයකු වූ තුෂාර ඝාතනය වන්නේ මේ අතරතුරදීය. ජල්තර මහා විද්‍යාලයීය කී‍්‍රඩාංණයට කඩා වැදුණු ඌරුජුවාගේ කල්ලියේ සාමාජිකයෙකු වූ තුෂාර නමැත්තාට වෙඩි තබා ඝාතනය කර පලායන්නේ මුළු කඩුවෙල ප්‍රදේශයම භීතියට පත් කරමින්ය.

තුෂාර ඝාතනය කිරීම සැලවීමත් සමඟ දැඩි ලෙස කෝපයට පත් වූ ඉන්දා තම කල්ලියේ මන්නා පිහි කණ්ඩායම යොදවා එදින රාති‍්‍රයේම ඌරුජුවාගේ ගෝලයකු කපා කොටා ඝාතනය කෙරෙව්වේය.

හංවැල්ල ඇඹුල්ගම ප්‍රදේශයට කඩා වැදුණු ඉන්දා මන්නා පිහි කල්ලිය ඌරුජුවාගේ සමීපතමයකු වූ ජීවන් ඝාතනය කළේ ඉතාම තිරිසන් ආකාරයටය.

තම ප්‍රහාරයට එකට එක කිරීමක් ලෙස ජීවන් මරා දැමීම පිළිබඳව ඌරුජුවා තුළ ඇතිව තිබුණේ දැඩි වෛරයකි.

‘‘ඉන්දා දන්නේ නැහැ. ඌරුජුවා කියන්නේ කවුද කියලා. මම ඕකව කෑලි කෑලිවලට කපලා මරනවා. ඌ කෑලි කරපු දාට තමයි මට නින්ද යන්නේ….’’

ජීවන් ඝාතනයේ වාඩුව ගෙන තම වෛරය පිරිමසා ගැනීමට ඌරුජුවා සැලසුම් කරන්න පටන් ගත්තේ මීට වසරකට උඩදී සිටය. ඌරුජුවාගේ ගෝලබාලයන් අවස්ථා කීපයකදීම ඉන්දා ඝාතනය කිරීමට උත්සාහ කළ ද ඒ සියලූ අවස්ථා ව්‍යර්ථ වී තිබුණේය. ඌරුජුවාගේ අළුගෝසුවන් කොයි මොහොතක හෝ තමා ඝාතනය කරන බව දැන සිටි ඉන්දා හැමවිටම ආරක්‍ෂක කි‍්‍රයාමාර්ග අනුගමනය කළේය. ඉන්දා ගමන්බිමන් යන විට තම ගෝලබාලයන් පිරිවරාගෙන යෑමට කටයුතු කළේ එල්ල විය හැකි ඕනෑම ප්‍රහාරයකට මුහුණ දීම සඳහාය.

අපරාධ කීපයක් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටි ඌරුජුවා තම විරුද්ධවාදියා ඝාතනය කිරීමට සැලසුම් කීපයක් සකස් කළේ බන්ධනාගාරයේ සිටමය.

මීට සති කීපයකට උඩදී ද ඌරුජුවාගේ ගෝලබාලයන් ඉන්දා ඝාතනය කිරීමට උත්සාහ කළහ. ඉන්දා සිය ගෝල බාලයන් සමග පින්කමකට සහභාගි වීමට ගිය අවස්ථාවේ ඔහුට වෙඩිතබා ඝාතනය කිරීමට ඌරුජුවාගේ ගෝලයන් උත්සාහ කළ ද එය ව්‍යර්ථ විය. ඉන්දාගේ කල්ලියට සම්බන්ධ වී සිටි කීපදෙනකු ඌරුජුවා සමග ද සම්බන්ධතා පත්වාගෙන ගියහ. මේ බව ඉන්දා දැන සිටියේ නැත. ඉන්දා යන එන ගමන් බිමන් පිළිබඳව මෙන්ම ඔහු කරන කියන දෑ පිළිබඳව සියලූ තොරතුරු ඌරුජුවා දැන ගත්තේ මේ ඔත්තුකරුවන් මාර්ගයෙන්ය. ඉන්දා ඝාතනය කිරීම සඳහා අවශ්‍ය ගිනි අවි 3 ක් මන්නා පිහි ඇතුළු අවි ආයුධ සියල්ල තම ගෝලබාලයන් වෙත සපයා දීමට ඌරුජුවා කටයුතු කළේය.

ප්‍රහාරය සඳහා පාතාල පිරිසට ගමන් කිරීමට වෑන් රථයක් සපයා දුන්නේද ඌරුජුවා විසින්ය. මේ අතර ඉන්දා පසුගිය 16 වැනිදා සවස අවිස්සාවේල්ල ප්‍රදේශයේ කිසියම් කටයුත්තකට යන බවට ඌරුජුවා වෙත තොරතුරක් ලැබුණේය. ඌරුජුවා ඒ මොහොතේම තම කල්ලියේ ප්‍රධානියකු වූ ගයියාට දුරකථනයෙන් කතා කළේය.

‘‘ඉන්දාට වැඩක් දෙන්න අද තමයි හොඳම දවස. ඌ සෙට් එකක් අරගෙන අවිස්සාවේල්ලට ගියා. හවස් වෙනකොට හංවැල්ලට එනවා. උඹලා රෙඩි පිට හිටපල්ලා. සුදුපාට මරුටි කාර් එකක තමයි ඌ අවිස්සාවේල්ලෙ ගියේ….’’ වැලිකඩ බන්ධනාගාරයේ සිටියද ඌරුජුවා ඉන්දා ගිය ගමන් බිමන් පිළිබඳ සියලූ තොරතුරු ලබාගෙන තිබුණේය.

‘‘උඹ මුණයාත් එක්ක මේ වැඩේට අතගහපං… උඹේ සපෝර්ට් එකට තව කොල්ලො පස්දෙනෙක් දෙනවා. වෑන් එකට අමතරව මෝටර් බයික් එකක කොල්ලො දෙන්නෙක් එනවා. උන් දෙන්නා මුලින්ම ඉන්දාට වෙඩි තියයි. ඊට පස්සෙ උඹට තියෙන්නේ ඉන්දාගේ බෙල්ල කපලා, ඇඟ උඩින් ඔළුව තියලා මාරු වෙන්න. මේ වැඩේ හරියටම කරපං….’’

ඌරුජුවා තම සමීපතම පාතාල සගයා වූ ගයියාට කීවේය. එදින රාති‍්‍රයේ කෙසේ හෝ ඉන්දා ඝාතනය කරන බවට ගයියා , මුණයා ඇතුළු පාතාල සගයන් ඌරුජුවාට පොරොන්දු වූහ. පසුගිය 16 වැනිදා රාති‍්‍රය උදාවෙමින් තිබුණේය. ඉන්දා ඇතුළු පාතාල සගයන් ගමන් ගන්නා ස්ථාන පිළිබඳව බන්ධනාගාරයේ සිටි ඌරුජුවාට දිගින් දිගටම තොරතුරු ලැබුණේය.

කාර් එකේ ඉන්දාත් එක්ක තව හතර දෙනෙක් ඉන්නවා. හංවැල්ලේදී වාහනෙන් දෙන්නෙක් බහිනවා. ඊට පස්සෙ වාහනේ ඉතුරු වෙන්නේ ඉන්දායි සුරේෂුයි විතරයි. එතකොට ඉන්ද්‍රට ගහලා දාන්න ලේසියි.’’

ඔත්තුකරු ඌරුජුවාට දුරකථනයෙන් කතා කර කීවේය. හංවැල්ලේදී ඉන්දා ගමන් ගන්නා මෝටර් රථයට ප්‍රහාර එල්ල කිරීමට ඌරුජුවාගේ කල්ලිය උත්සාහ කළද එය ව්‍යර්ථ විය.

ගයියා මුණයා ඇතුළු පාතාල මැරයන් 5 දෙනකු රැගත් මන්නා පිහි කල්ලිය ඉන්දා ගමන් ගන්නා මරුතී මෝටර් රථය ලූබුබඳින්න වූහ. ඊට අමතරව යතුරුපැදියක ගමන්ගත් ඌරුජුවාගේ ගෝල බාලයන් දෙදෙනකු ද ඉන්දා රැගත් මෝටර් රථය පසුපස පන්නාගෙන ගියහ. ඌරුජුවාගේ ගෝලබාලයන් තමන් ලූහුබඳිමින් සිටින බව ඉන්දා දැන සිටියේ නැත. හංවැල්ල ඇඹුුල්ගම ප්‍රදේශයේ මාර්ගය අසල පිහිටි වඩේ කඩයක් අසල ඉන්දා ගමන් ගත් මෝටර් රථය නතර කළේය.

ඒ වනවිට මෝටර් රථයේ සිටියේ ඉන්දා සහ සුරේෂ් පමණි. ඔවුන් වඬේ කෑමට වඩේ වෙළෙඳසැළ අසළ මෝටර් රථය නතර කළේය. එහෙත් සිදුවූයේ ඉන්දා සිහිනයකින් හෝ නොසිතූ සිදුවීමකි. ඉන්දා සහ සුරේෂ් මෝටර් රථයෙන් බසිනවාත් සමගම ඒ පසුපසින් ආ යතුරුපැදියක් සහ වෑන් රථයක් ඒ ස්ථානයේ නතර කළහ. යතුරුපැදියෙන් ආ සන්නද්ධ පුද්ගලයන් දෙදෙනා ඉන්දාට සහ සුරේෂ්ට ඉවක් බවක් නොමැතිව වෙඩි තබන්නට වූහ. වෙඩි ප්‍රහාරවලින් සුරේෂ් බිම ඇද වැටුණේය. ඉන්දාගේ සිරුරේ ස්ථාන කීපයකට වෙඩි ප්‍රහාර එල්ල වී තිබුණද ඔහු ඌරුජුවාගේ ගෝලබාලයන්ගෙන් බේරී දිව යෑමට සමත් වුණේය.

වෙඩි ප්‍රහාරවලින් බිම ඇද වැටී දඟලමින් සිටි සුරේෂ් වෙත කඩා පනිනු ලැබූ ඌරුජුවාගේ ගෝලබාලයන්ටත් ගයියා මුණයා ඇතුළු පාතාල මැරයන් ඔහු කපා කොටා ඝාතනය කළහ.

හතර අතට එල්ල වූ වෙඩි ප්‍රහාරවලින් වඩේ වෙළෙඳසැල් පවත්වාගෙන ගිය ජීවන් නමැති අහිංසකයකු ද බරපතළ තුවාල ලබා සිටියේය. කොහේදෝ යන කාලකණ්ණින් රැළක් එකිනෙකා මරා ගනිද්දී ඊට මැදිවූ මේ පාතාලයට කිසිම සම්බන්ධයක් නැති අහිංසකයා තුවාල ලබා බිම ඇදවැටී සිටියේය.

ඌරුජුවාගේ සැලසුම කි‍්‍රයාත්මක කිරීමට ගයියා මුණයා ඇතුළු පාතාල මැරයන්ට ඉඩ ලැබුණේ නැත. වෙඩි ප්‍රහාරයට ලක්ව ඉන්දා කෙසේ හෝ මේ පාතාල මැරයන්ගෙන් බේරී පලා ගියේය. ඉන්දා ඝාතනය කර ඔහුගේ හිස කඳෙන් වෙන්කර සිරුර මත තැබීමට කළ සැලසුම ව්‍යර්ථ වීමෙන් පසු ගයියා ඇතුළු පාතාල මැරයන් හංවැල්ල ඇඹුල්ගම ප්‍රදේශයෙන් පලා ගියහ.

ඇඹුල්ගමදී සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් හංවැල්ල පොලිසිය එදින රාති‍්‍රයේම සිය විමර්ශන ආරම්භ කළහ. සුරේෂ් නමැති පාතාල මැරයා ඝාතනය කර ඉන්දාට වෙඩි තබා තුවාල කර පලා ගියේ ඌරුජුවාගේ කල්ලිය විසින් බවට තොරතුරු හංවැල්ල පොලිසිය ඒ වනවිට සොයාගෙන සිටියහ.

ප්‍රහාරය එල්ල වූ දින රාති‍්‍රයේම හංවැල්ල පොලිසිය වෙත ඇමතුමක් දුන් නාඳුනන පුද්ගලයකු පාතාල මැරයන් පලා ගිය වෑන් රථයේ අංකය ලබාදී තිබුණේය. හංවැල්ල පොලිසිය එදින රාති‍්‍රයේ ම මෙම වෑන් රථයේ හිමිකරු සොයාගන්නට සමත් වූහ. වෑන් රථය රත්නපුර ප්‍රදේශයේ කාන්තාවකට අයත් එකකි. එය කඩුවෙල නගරයේ වාහන කුලී පදනම මත ලබා දෙන ආයතනයකට ලබාදී තිබුණේය. පොලිසිය කඩුවෙල නගරයේ මෝටර් රථ කුලියට ලබාදෙන ආයතනය වෙත ගොස් වෑන් රථයේ තොරතුරු සොයන්නට වූහ.

‘‘සර් මේ වෑන් එකේ GPS එකක් හයි කරලා තියෙනවා. ඒ නිසා අපට මේ වෑන් එක කොහෙද තියෙන්නේ කියලා හොයාගන්න පුළුවන්…’

වාහන කුලී පදනම මත ලබාදෙන ආයතනයේ හිමිකරු ලබා දුන් තොරතුරු ඉතා වැදගත් විය. GPS උපකරණය මාර්ගයෙන් විමර්ශන කළ පොලිස් නිලධාරීන් වෑන් රථය ස්ථානගත කර ඇති ස්ථානය සොයා ගත්හ.

‘‘ මේ වෙලාවේ වෑන් එක නතර කරලා තියෙන්න, පැලවත්තේ කුමාරගේ මාවතේ මේ වැඩේට සම්බන්ධ වෙච්ච උන් ටිකත් මේ අවට කොහේ හරි ඉන්න ඕනේ..

හංවැල්ල පොලිසියේ නිලධාරීන් එදින රාති‍්‍රයේම පැලවත්ත ප්‍රදේශයට ගොස් ඝාතකයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම කි‍්‍රයාත්මක කළහ.

පැලවත්ත කුමාරතුංග මාවතේ කෙළවරට ගිය පොලිස් නිලධාරීන් GPS උපකරණය සවි කළ වෑන් රථය මාර්ගය අසල නතර කර තිබියදී සොයා ගත්හ. වෑන් රථය නවතා තිබූ ස්ථානයේ අලූතින් නිවසක් ඉදිවෙමින් තිබුණේය. මේ නිවසේ පෙදරේරුවන් පිරිසක් නවාතැන් ගෙන සිටියහ.

පොලිස් නිලධාරීන් අලූතින් ඉදිකරන නිවසේ සිටි පෙදරේරුවන් පරීක්‍ෂා කරද්දී ඉන් පිරිසක් පලා ගියහ. පාදයක් ආබාධයට ලක්වූ පුද්ගලයකු සහ තවත් අයකු මේ නිවසේදී අත්අඩංගුවට ගැනීමට හංවැල්ල පොලිසිය සමත් වූහ. පසුව කළ විමර්ශනවලින් හෙළිවූයේ හංවැල්ල ඇඹුල්ගමදී ප්‍රහාර එල්ල කළ ඌරුජුවාගේ ගෝලබාලයන් පිරිසක් මේ නිවසේ රැඳී සිට ඇති බවයි. පොලිසිය අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයකු ඇඹුල්ගම ප්‍රහාරයට පාතාල පිරිස පැමිණි වෑන් රථයේ රියැදුරුය. අනෙක් පුද්ගලයා මේ ප්‍රහාරයට ආධාර අනුබල දුන් අයෙකි.

ඇඹුල්ගම ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටි ප්‍රධාන සැකකරුවන් සිවුදෙනා ඒ වනවිට පොලිසියෙන් බේරී පලා ගොස් සිටියහ.

ඒ වනවිට පොලිස් විශේෂ කාර්ය බළකාය ද මේ ප්‍රහාරයට සම්බන්ධ පාතාල මැරයන් පිරිස අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබිණි. පොලිස් විශේෂ කාර්ය බළකායේ අණ දෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් එහි නියෝජ්‍ය අණ දෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලයනල් ගුණතිලක මහත්වරුන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ සමූහ මංකොල්ල අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක නදීක සිල්වා ඇතුළු නිලධාරීන් ප්‍රහාරයට සම්බන්ධ පාතාල මැරයන් සොයා පුළුල් මෙහෙයුමක් ආරම්භ කළහ. මේ ප්‍රහාරයට සම්බන්ධ වූ පාතාල මැරයකුට අයත් දුරකථන අංකයක් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් අතට පත්ව තිබිණි. නවීන තාක්‍ෂණ ක්‍රමවේදයන් ඔස්සේ විමර්ශන පැවැත්වූ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් මෙම ජංගම දුරකතනය කි‍්‍රයාත්මක වන ස්ථානය නිවැරැදිව සොයාගත්හ.

ප්‍රධාන පොලිස් පරීක්‍ෂක නදීක සිල්වා ඇතුළු නිලධාරීන් කඩුවෙල පෙරේරා මාවතේ එක්තරා ස්ථානයක් 17 වැනිදා අලූයම 5.30 ට පමණ වටලනු ලැබීය.

ඇඹුල්ගමදී ඉන්දා ඉලක්ක කර එල්ල කළ කල්ලියට නායකත්වය දුන් ගයියා සහ මුණයා මෙහිදී අත්ඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සමත් වූහ. ප්‍රහාරයට යොදා ගත් මිලි මීටර් 9 වර්ගයේ පිස්තෝලයක් ගයියා සතුව තිබී අත්අඩංගුවට ගත් අතර ප්‍රහාරයට යොදාගත් තියුණු කඩු දෙක්ක මුණයා අත තිබී විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සොයාගත්හ. ගයියාගෙන් සහ මුණයාගෙන් ප්‍රශ්න කිරීම ඇරඹිණි. ප්‍රහාරයට සම්බන්ධ සියලූ තොරතුරු එකින් එක ගලා එන්නට පටන් ගත්තේය.

අනේ සර් අපට කරදර කරන්න එපා වෙච්ච හැම දෙයක්ම අපි කියන්නම්. ඌරුජුවාගෙ ඕඩරයකට තමයි අපි මේ වැඬේ කළේ. ජීවන්ගේ ඕඩර් එකට ඇතුළට ගිහින් ඉඳලා අපි දෙන්නා එළියට ඇවිත් සති දෙකයි. ගයියා සියලූ තොරතුරු වමාරන්නට පටන් ගත්තේය.

මේ ගේම් එකට අපි හත්දෙනෙක් ආවා. අපි ගිය වාහනේ ඩ‍්‍රයිවර් පොලිසියට කොටු වුණා. තව දෙන්නෙක් දොම්පේ පැත්තේ හැංගිලා ඉන්නවා.

ඇඹුල්ගම ප්‍රහාරයට සම්බන්ධ වූ තවත් පාතාල සගයන් දෙදෙනකු දොම්පේ පාලූගම ප්‍රදේශයේ නිවසක සැඟවී සිටින බව ගයියා හෙළි කළේය. ප්‍රධාන පොලිස් පරීක්‍ෂක නදීක සිල්වා ඇතුළු නිලධාරීන් ඒ සඳහා සවස දොම්පේ පාලූගම ප්‍රදේශය වටලා ඌරුජුවාගේ කල්ලියේ තවත් සාමාජිකයන් දෙදෙනකු අත්අඩංගුවට ගත්හ. මේ පාතාල සාමාජිකයන් දෙදෙනාම අවුරුදු 17 – 18 වයස් සීමාවල පසු වූ ලාබාල තරුණයන්ය. ඌරුජුවාගේ නියෝග මත කපා කොටා ජීවන් ඝාතනය කර තිබුණේ මේ ලාබාල තරුණයන් දෙදෙනා විසින්ය.

ජීවන්ගේ ඝාතනය සම්බන්ධයෙන් මේ තරුණයන් දෙදෙනා ද බන්ධනාගාරගතව සිට ඇප මත මුදා හැරීමෙන් පසු කඩුවෙලට පැමිණ සිටියේ මීට සති දෙකකට පමණ උඩදීය. එසේ පැමිණි මේ පවුකාරයන් මුළු රටම නැවත භීතියට පත් කර නැවත බන්ධනාගාර ගත වූහ.

කඩුවෙල හංවැල්ල ඇතුළු ප්‍රදේශ ගණනාවක නීතිගරුක මිනිසුන් භීතියට පත් කරගෙන සිටින මේ කාලකණ්ණින් රැළ ජීවත්ව සිටින තාක්කල් කිසිවකුටත් නිදහසක් නැත. මේ පාපතරයන් විනාශ කර දමනවා හැරෙන්නට වෙනත් විකල්පයක් නොමැති බව පාලකයන් සිතා බැලිය යුතු කාලය එළැඹ ඇත.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *