හරීන්ට මනූෂට යළි එජාප කෘත්‍යාධිකාරී සාමාජිකත්වය

හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර අමාත්‍යවරුන්ට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වය යළි ලබා දීමට ඊයේ (02) රැස්වූ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමි විය. ඔවුන්ගේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වය අත්හිටුවීමට එම මණ්ඩලය 2020 වසරේදී පියවර ගෙන තිබිණි.

පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ඊයේ (02) පැවැත්විණි.

2020 වසරේ පැවති මහ මැතිවරණයට සමඟි ජන බලවේගයෙන් නාම යෝජනා භාර දීම නිසා හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර මහත්වරුන් ඇතුළු එවකට එජාප මන්ත්‍රීවරුන් පිරිසකගේ පක්ෂ සාමාජිකත්වය සහ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වය අත්හිටුවීමට එම වසරේ මැයි 29 වැනිදා රැස් වූ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබිණි.

අමාත්‍යවරුන් දෙදෙනා පසුගිය වසරේ මැයි මස කැබිනට් අමාත්‍ය ධුර ලබා ගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ යළි එක් වූ අතර පසුව යළි පක්ෂ සාමාජිකත්වය ද ලබා ගත්තේය. ඔවුන් දෙදෙනාට ඊයේ යළි සාමාජිකත්වය ලැබීමත් සමඟ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට ද සහභාගි වූහ.

එක්සත් ජාතික පක්ෂයේ 76 වැනි සංවත්සරය සහ පක්ෂ සම්මේලනය සැප්තැම්බර් 10 වැනිදා කොළඹ නෙළුම් පොකුණ රඟහලේ එළිමහන් පරිශ්‍රයේ පැවැත්වීමට ද කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ තීරණය කළේය. මේ සඳහා දිවයින පුරා එක්සත් ජාතික පාක්ෂිකයන් සහභාගි කරවීමට ද සාකච්ඡා විය. පක්ෂයට නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා අනුමැතිය ලබා ගැනීම මෙම සම්මේලනයේදී සිදු කිරීමටත් තීරණය විය.

කෘත්‍යාධිකාරී මණ්ඩලයට අමතරව විධායක සභාව ශක්තිමත් කිරීමටත් විධායක සභාව තීන්දු තීරණ ගන්නා තැනක් බවට පත් කිරීමටත් දේශපාලන කටයුතු සිදු කිරීම වෙනුවෙන් වෙනම කමිටුවක් නිර්මාණය කිරීමටත් මාර්ගගත ක්‍රමවේදයට අනුකූලව පක්ෂය සංවිධානය කිරීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡා වූ බව පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ බල මණ්ඩල 135ක් යළි බලගැන්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා බලමණ්ඩල සංවිධානය කළ සියලු දෙනාටම ස්තූතිය පළ කළේය.

පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය සම්බන්ධයෙන් ද කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාකච්ඡා කෙරුණු අතර ඒ සඳහා විධායක කමිටුවක් පත් කර එම කමිටුවට වැඩි බලතල පැවරීමට ද තීරණය විය. එම කමිටුවට පක්ෂයේ තරුණ සහ කාන්තා සමිතිවල නියෝජිතයන්ගේ සහාය ලබා ගැනීමට ද තීරණය විය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *