“මේක කටු ඔටුන්නක්. මේක ඇවිල්ලා සුසයිඩ් මිෂන් එකක්” – හරීන්

රට තුළ අර්බුදයක් ඇති මොහොතක තමා අමාත්‍යධූරය භාරගනු ලැබුවේ රටේ දරුවන් වෙනුවෙන් හා රට ස්ථාවර කිරීම වෙනුවෙන් බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

අද (23) උදෑසන සිය අමාත්‍යධූරයේ වැඩභාර ගනිමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

අද දිනයේ දී කැබිනට් මණ්ඩලයට 21 වන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කිරීමට නියමිත බවත් එසේ නොවුණහොත් ආණ්ඩුවෙන් ඉවත්වෙනවා යන ස්ථාවරයේ සිටින බවත් අමාත්‍යවරයා පැවසීය.

“කවුරු ගේම් ගහන්න හැදුවත් අරගලයේ ඉල්ලීමක් තියෙනවා 21 ගේන්න කියලා. ස්වාධීන කොමිසම් සභාවලට 19 යන එක. මේ රට නැවත වතාවක් ස්ථාවරවෙලා ප්‍රජාතන්ත්‍රණය අගයන රටක් බවට පත්වෙන්න නම්, විශේෂයෙන්ම එය වියයුතුමයි. කැබිනෙට්ටුවට දාලා එය සම්මත වුණාට පස්සේ, ඒක පාර්ලිමේන්තුවේ තියෙන්නේ. ඒ නිසා මම විශ්වාස කරනවා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ජනතාවගේ හඬට කන්දෙයි කියලා.

සංචාරක ව්‍යාපාරය නැවත වතාවක් පණ ගන්වන වැඩසටහනක් මේ මොහොතේ වනවිටත් ඊයේ රාත්‍රී වනවිටත් ලංකාවේ ඉන්න විශාරදයන් සියලුදෙනා මුණගැහිලා කෙටි කාලීනව සංචාරකයින් ලංකාවට 10,000 – 15,000ක් ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙලකට අපි යොමුවෙලා තියෙනවා.

මම විශ්වාසයෙන් ඉල්ලීමක් කරනවා හැමදෙනාගෙන්ම. මේක ඔටුන්නක් නෙමෙයි. කටු ඔටුන්නක්. මේක ඇවිල්ලා සුසයිඩ් මිෂන් එකක්. අපි දේශපාලනය කරපු පක්ෂ, ගම් සියලු දේ අමතක කරලා, බැනුම් අහගෙන චෝදනා අහගෙන රටේ ස්ථාවරත්වය වෙනුවෙන් කළ දෙයක්. විශ්වාස කරනවා අපි එකතු වෙමු රටක් විදියට. තනතුරුවලට බෙදෙන්නේ නැතුව සියලුදෙනාම එකතුවෙන්න කියලා ආයාචනයක් කරනවා.”

ප්‍රශ්නය – ස්වාධීන වෙන පවසා නැවත වතාවක් සජබයේ ගොස් වාඩි වුණා නේ.

“මම තාම සජබයේ.”

ප්‍රශ්නය – ජනාධිපතිවරයා ඉදිරියේ අමාත්‍යධූරය භාරගන්නවා. ඔබතුමා විහිලු සහගත කතාවක් කියනවා. පසුව ඒ කතාව ඔප්පු වෙනවා. ඔබතුමා හැන්සම් ඇමතිවරයෙක්. ඔබතුමාට වපරයක් තියෙනවා ?

“මම කිව්වා හිරිකිතයක් තියෙනවා කියලා. ඒක තාම මට තියෙනවා. ඒ පුද්ගලයාට නෙමෙයි. ජනාධිපති කියන තනතුරටයි ගරු කළ යුත්තේ. සජබයේ සමහරු අහනවා කොහොම ද රෙද්දක් ඇඳන් ගිහින් ඇමතිකම භාරගත්තේ අහනවා. පැහැදිලිව කියන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයාත් අගමැතිකම ගන්නම් කිව්වා. එතකොට සජිත් ප්‍රේමදාස මහත්තයා අගමැතිකම ගන්නේ කාගෙන්ද ? මගෙන් ද? නෑනේ. එතුමාට ගන්න වෙන්නෙත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගෙන්. බොළඳ ප්‍රශ්න නෙමෙයි මේ රටේ ප්‍රශ්නය ගැන හිතමු. මගේ හෘද සාක්ෂියට ඒක විරුද්ධයි. ඒත් මම මේ වෙලාවේ ගත්තේ, නිර්පාක්ෂික ආණ්ඩුවකට මගේ පක්ෂයෙන් ස්වාධීන වෙලා තියෙන මොහොතක ගත්ත තීරණයක්. ඒක ගැන ආඩම්බරයි.”

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *