එදාවේල සරිකොට ගැනුමට කැත්ත, උදැල්ල හා හරි හරියට ඔට්ටු වන ජීවිත මේ ලෝකය තුළ දුලබ නොවේ. එහෙත් ජීවිතය පිළිබඳව හයක් හතරක්වත් නොතේරෙන වයසක සිටින පාසල් දරුවකු ගඩොල් කන්දක් මැදින් ජීවිතයේ හෙට දවස සොයන්නේ කෙසේදැයි සමහරකුට සිතා ගැනීමටවත් නොහැකි වනු ඇත. වැල්ලවාය ආනපල්ලම පහේ කණුවේ දිවි ගෙවන හසිඳු ඔහුගේ පියා හා එක් වී හරි හරියට ගඩොල් කර්මාන්තයේ යෙදෙනුයේ අහස උසට මාලිගා තනන්නට නොවේ. හෙට දිනයේදී උගතකු වන්නටය.
හසිඳු අකුරු කරනුයේ මොනරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය අධ්‍යාපන කලාපයට අයත් ඌවපරණගම පැල්වත්ත නවෝද්‍යා පාසලේ හය ශ්‍රේණියේය. හසිඳුගේ නැඟණියද එම පාසලේම තෙවැනි ශ්‍රේණියේ උගනී. ඔහු අකුරු කරනුයේ ඉංග්‍රීසි මාධ්‍යයෙනි. ලෙඩ ඇඳට වැටුණු අම්මාත්, වෛද්‍යවරුන් එපා කියද්දීත් කකුල වෙහෙසවා ගඩොල් කපන තාත්තාත් හසිඳු පිටුපස සිටින සවිමත් සෙවණැල්ලයි. එහෙත් ඒ සෙවණැලිවල සෙවණින් හසිඳුට හෙට ලෝකය ජය ගැනීමට බොහෝ දුෂ්කරය.
ආනපල්ලම ජීවත් වන බොහෝ දෙනකු සිය ජීවිතය රැක ගන්නේ ගඩොල් කැපීමෙනි. පස් කඳු හා ඔට්ටු වෙමින් ගින්නේ උණුසුම මැද අළුගොඩ මැදින් ගෙවන ජීවිත බොහෝ දුෂ්කරය. රතට දිලිසෙන මනා නිමාවකින් යුතු ගඩොල් කැටයක් තරම් ඒ ජීවිත සුමට නොවේ. ඒවායේ බොහෝ කඩතොලුය. නැවත පිරියම් කොට ගත නොහැකි තරමටම සමහර ජීවිත අබලන්ය.
කුලුඳුලේ මවුපදවිය තිළිණ කළ පුතුගේත්, කැදැල්ලේ සෙනෙහෙ රැන්දූ දියණියගේත් ලෝකය තනන්නට මේ මවුපිය දෙපළ දිවා රෑ වෙහෙසුණෝය. චන්දන සිසිර කුමාර තම පුතුගේ අනාගතය ගැන සිහින දැක්කේ සිය බිරියද සමඟිනි. චන්දනගේ අම්මා නිවෙසේම ගඩොල් කැපුවේ ඇගේ විය හියදම් පිරිමසා ගන්නටය. කොළඹ රස්සාවක් කළ චන්දන නිවාඩුවට ගෙදර ආ විගස කරනුයේ තම දරු පවුල රකින්නට උරදෙන අම්මාගේ ගඩොල් පෝරනුවේ අවශ්‍යතා සොයා බැලීමය. එහෙත් අවාසනාවකට මෙන් ගඩොල් පෝරනුවට අවශ්‍ය දර කැපීමට ගිය දිනක ගසක අත්තක් චන්දනගේ කකුල මතට කඩා වැටිණි. කරදර කාලය පැමිණියේ එතැන් සිටය. කකුල සුවපත් කර ගැනීමට ශල්‍යකර්ම 16කට මුහුණ දෙන්නට චන්දනට සිදුවිය. ඒ එක් කකුලක ඇස් වටයෙන් පහළ කොටස සම්පූර්ණයෙන් බිඳීගොස් තිබුණු නිසාය.
චන්දනගේ අම්මාද ඇදුම රෝගියෙකි. ඇය මේ වන විට මිය ගොසිනි. චන්දනගේ බිරියද දහයියා, අළු අතර උදේ හවා ගෙවාදැමූ කාලයට තිත තබා ඇත්තේ ඇයද ඒ නිසාම ඇදුම රෝගයට ගොදුරු වී ඇති නිසාය. චන්දනගේ දියණියත් ඇදුම රෝගයෙන් පීඩා විඳී.
වෛද්‍යවරුන් එපා කියද්දීත් චන්දන කකුල අද්දවමින් ඇවිද ගොස් ගඩොල් කපනුයේ ඔහුට කුලුඳුලේම පිය පදවිය උරුම කළ පුංචි පුතුගේ හීනය හැබෑ කරවන්නටය.
‘මගේ එකම බලාපොරොත්තුව දරුවන්ට හොඳට උගන්වන එක. උදේ හවස ගඩොල් කප කපා මහන්සි වෙන්නේ ඒ හින්දයි. ලොකු පුතාට හරි ආසාවක් තියෙනවා කම්පියුටර් එකක් ගන්න. ගඩොල් කැටයක්වත් තාම උස්සගන්න බැරි වුණාට එයා මට උදවු කරනවා. පුළුවන් විදියට එයාගේ ආසාව ඉෂ්ට කරන්න තමයි මේ උත්සාහ කරන්නේ. ෙදාස්තර මහත්වරු කියනවා කකුල මහන්සි කරන්න එපා කියලා. එහෙමයි කියලා මොනවා කරන්නද? කම්පියුටරයක් බැරි වුණත් අඩු තරමේ ශබ්දකෝෂයක්වත් අරන් දෙන්න පුළුවන් වුණොත් ලොකු දෙයක්.
එක්දහස් නවසිය අසූඅටේදී පමණ ගොඩනැඟූ නිවෙසක දිවි ගෙවන මේ පවුලට දහසකුත් එකක් ප්‍රශ්නය. හිසට ඉහළින් වහලක් ඇතත් එහි සිදුරු වූ තැන් බොහෝය. පුංචි වැස්සටත් වහල දිගේ බේරෙන වැහි බිඳු පොළොවට නොවැටෙනුයේ ගේ පුරා තබන බේසම්වලට පින් සිදුවෙන්නටය. කැඩුණු බිඳුණු ජනේල ආවරණය වී ඇත්තේ ඉටි කොළවලිනි. කකුලකුත් අද්දමින් දිනකට ගඩොල් තුන් හාර සියයකට එහා කපා ගන්නට චන්දනට නොහැකිය. පාසල් ඇරී පැමිණ ගඩොල් පෝරනුවේ අත්උදවු දෙන පුංචි හසිඳුගේ දෑතට පින්සිදු වන්නට තවත් අමතර ගඩොල් සියයක් එකසිය පනහක් පමණ කපන්නට චන්දනට කය වෙහෙසීමට සිදුවේ. අබලන් වී ඇති වහල හදා ගන්නටවත්, දරු දෙදෙනාගේ ඉගෙනීමට වියදම් කරන්නටත් සිවුදෙනකුගෙන් යුත් පවුලක කුස පුරවන්නටත් දෙන්නා දෙමහල්ලන්ගේ ලෙඩ දුක්වලට වියදම් කරන්නටත් ගඩොල් විකුණා ලැබෙන ඒ සොච්චම් මුදල මදිය.
ගඩොල් හැදුවාට මිලදී ගන්නටවත් නිශ්චිත මිලක් හෝ ගැනුම්කරුවෙක් ඇත්තේ නැත. දුර පළාත්වලින් එන මුදලාලිලාට ගඩොල් ගොඩම විකුණනුයේ කුණු කොල්ලයටය. එදාවේල පිරිමසා ගන්නට නම් කේවල් කරමින් ගඩොල්ගොඩ තවදුරටත් ආරක්‍ෂා කළ නොහැකිය. පායනා කාලයේදී දන්නා සෙල්ලම් සියල්ලම දමා ගඩොල් කපා විකුණුවද වැහි කාලයට මුළු පවුලම බඩගින්නේය.
දුක උරුම කරගත්තද එහිම ගැලී ඉන්නට හසිඳුට වුවමනාවක් ඇත්තේ නම් නැත. දාහකුත් එකක් අගහිඟකම් පරයා සසරේ ගෙන ආ දක්‍ෂකම්වලින් සිය ප්‍රතිභාව විදහා පානුයේ ඉන් ගොඩඑනු පිණිසය. දෛවය සරදම් කළද හසිඳු සිහින දකිනුයේ අනාගය දිනන්නටය. මවු භාෂාවෙන් නොව දෙවැනි භාෂාවෙන් අධ්‍යාපන කටයුතු සිදු කළද හසිඳුට මඟ පෙන්වන්නට අම්මාවත් තාත්තාවත් ළඟ නොරැඳේ. අඩු තරමේ ඉංග්‍රීසි භාෂාවේ නොතේරෙන වචනයක් වුවද දැන ගැනීමට හසිඳුට ශබ්දකෝෂයක්වත් නැත. එදාවේල සරිකොට ගැනුමට වෙහෙසෙන මේ මිනිසුන්ට පරිගණකය සිහිනයකි. වටිනා ශබ්දකෝෂයක් දෑස් මානයේ පැවැතියද එය තම පුතු සන්තකයට දෙන්නට තරම් මිල අධිකය.
‘මට අමාරු වචනයක තේරුමක් හොයා ගන්න අඩුම තරමේ ශබ්දකෝෂයක්වත් නෑ. මම ඉස්කෝලේ ගිහින් ඇවිත් තාත්තාට ගඩොල් කපන්න උදවු කරන්නේ මගේ ආසාව ඉෂ්ට කරගන්න ඕනේ නිසා. මට පුළුවන් විදියට තාත්තාට උදවු කරලා ලැප්ටොප් එකක් ගන්න තමයි මගේ ආසාව.’
මේ දරුවකුගේ පැතුමකි. සම වයසේ යහළුවන් කෙළිදෙලෙන් ළමා කාලය ගෙවන විට ඔහු ඉගෙනුම් සම්පත් සොයා ගන්නට තාත්තා හා ගඩොල් පෝරනුවේ කල්ගෙවයි.
සිහින මියැදුණු කල ජීවිතයද සෙමින් සෙමින් මියැදෙනු ඇත. ඔහුගේ සිහිනයට හුස්ම පිඹින්නට හැකි නම් ජීවිත බොහෝ ගණනක් එළියවනු ඇත.
– සවනි ශේෂාධි –