වැරැද්ද හදාගන්න හතුරුසිංහට දුන්න අවස්ථාව

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කරන චන්දික හතුරුසිංහට තවදුරටත් කණ්ඩායමට සේවය කිරීමේ අවස්ථාව දීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානීන් කැමැත්ත පළ කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ඔවුන් ක්‍රීඩා ඇමැතිවරයාගේ අදහසද ලබා ගැනීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

ඉකුත් වසරක කාලය තුළදී කණ්ඩායමේ ඇතිවූ ගැටුම්කාරීත්වය, විනය සහ එකමුතුකම නොමැතිවීම යන කරුණු සම්බන්ධයෙන් චන්දික හතුරුසිංහ මහතාටද චෝදනා එල්ල වුණා.

අදාළ දුර්වල ස්ථානයන්ට හේතුව කුමක්දැයි ක්‍රිකට් ප්‍රධානීන් හතුරුසිංහ සමග සාකච්ඡා කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානියකු පැවසුවේ “ගිවිසුම අනුව අපිට හතුරුසිංහව යවන්න පුළුවන්. නමුත් එහෙම යවන්න වෙන්නෙ ඔහුගේ කොන්ත්‍රාත්තුවෙන් 50% ක් පමණ ගෙවලා. කොහොම වුණත් හතුරුසිංහගෙ අඩුපාඩු මොනවද ක්‍රීඩකයන්ගෙ අඩුපාඩු මොනවද කියලා අපි සාකච්ඡා කරමින් ඉන්නවා. ලෝක කුසලාන අතලඟ තිබියදී අවශ්‍ය වන්නේ හැමදෙනාම සමගිව රටේ ක්‍රිකට් ක්‍රීඩාව ජයග්‍රහණය කිරීමට අවශ්‍ය තීන්දුව ගැනීමයි. ඒ නිසා හතුරුසිංහට අපි බලාපොරොත්තු වෙනවා පුහුණුකරු රැකියාව පමණක් ලබාදෙන්න. තවම ඔහුව ඉවත් කරනවා කියලා අපි කියන්නෙ නැහැ. ලෝක කුසලානයේදී හතුරුසිංහව සහ ස්ටීව් රික්ෂන් දෙදෙනා යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණුකරවන්න තමයි බලාපොරොත්තුව.” යනුවෙනුයි.

වාර්තා වන අන්දමට හතුරුසිංහගෙන් ඇතැම් සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී විවිධ ගැටලූ මතුවන බව තවත් පාර්ශ්වයක් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සහ ක්‍රීඩා ඇමැතිවරයා වෙත දන්වා තිබෙන අතර එම ගැටලූව සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බවයි පැවසෙන්නේ.

උද්ගතවී ඇති තත්ත්වය අනූව හතුරුසිංහ යළිත් පුහුණුකරු වශයෙන් කටයුතු කරන්නේ නම් කණ්ඩායමේ නායකත්වය බාර ගැනීමට ඇන්ජලෝ මැතිව්ස් අකමැත්තෙන් සිටින බව සඳහන් වනවා.

ක්‍රීඩා ඇමැතිවරයා සමග මීට මාසයකට පෙර පැවැති හමුවේදීද ලසිත් මාලිංග සහ ඇන්ජලෝ මැතිව්ස් දෙදෙනා විසින් හතුරුසිංහ සම්බන්ධයෙන් ලබාදී ඇත්තේ අයහපත් ප්‍රතිචාරයක්.

කෙසේ වෙතත් සියලූ කරුණු සලකා බලා හතුරුසිංහට යළිත් පුහුණුකරු ධුරය ලබාදෙනවාද නැද්ද යන්න අවසන් තීරණය ශ්‍රීඩා ඇමැතිවරයා සතුව ඇති බවයි වාර්තා වන්නේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *