‘මොතානා’ ISIS ත්‍රස්තවාදය අතහැර යළි ඇමෙරිකාවට පැමිණීමට අවශ්‍ය බව පවසයි

“මම ඇමෙරිකා එක්සත් ජනපදයට ගියහොත් මට අත් වන්නේ මරණයද? 2014 වසරේ ඇමෙරිකාවෙන් පිට වී එන විට සිටිය මානසික තත්ත්වයේ නොවේ මම දැන් ඉන්නේ. මම හැම දෙයක්ම වටහාගෙන තිබුණේ වැරැදියට. මම තවදුරටත් ISIS ත්‍රස්තවාදීන්ගේ ක්‍රියා අනුමත කරන්නේ නෑ. මම දැන් හැම රැයක්ම ගත කරන්නේ හඬමින්.”

මෙසේ පවසන්නේ විසි හතර හැවිරිදි හොදා මොතානායි. ඇමෙරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ ඉපිද එහි පුරවැසිකම ලබා සිටි මොතානා අන්තර්ජාලය තුළින් ඇති වූ සම්බන්ධතා හා විශ්වාසයන්ට අනුව ISIS සටන්කාමියකුගේ මනමාලිය වීමට සිරියාවට පලා යන්නේ 2014දීය.

එවිට ඇය 19 හැවිරිදි යුවතියකි. එහිදී ඔහු හා විවාහ වුවද යුද ගැටුමකින් තෙමසක් ගත වෙද්දීම ඔහු මියගියේය. ඉන්පසු තවත් සටන්කාමියකුට බිරිය වන ඇය පුතකුට උපත දුන්නාය. එම සටන්කාමියාද ගැටුම්වලින් මියගියෙන් ඇය තෙවැනි වරටත් තවෙකකුගේ බිරිය බවට පත්වේ.

දැන් ඇය තමාට නැවත ඇමෙරිකාවට පැමිණීමට අවශ්‍ය බව පවසයි. මුළු ලෝකයේම සියලු ජනමාධ්‍ය දෑස් ඇය වෙත යොමු වූයේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇයට ඇමෙරිකාවට යළි පැමිණීම තහනම් කළ බැවිනි. ඇය 2015දී ට්විටර් ගිණුමේ සටහන් තබමින් ඇමෙරිකාවේ වෙසෙන මුස්ලිම් අයගෙන් ඉල්ලා සිටියේ ඇමෙරිකාව පුරා ලේ වැගිරීම් සිදු කරන ලෙසය.

මොතානා සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වීමට සිරියාවේ ඇය වෙසෙන සරණාගත කඳවුරට ගිය ABC මාධ්‍ය ආයතනයේ මාධ්‍යවේදියකු දැක්වූ අදහස්ය මේ.

“ඇය මුලින් හිටියේ බොහොම චකිතයකින්. තමා අතින් වැරැදි දෙයක් කියවේද කියා බයෙන් වගේ. මම ඇගේ කෑම්ප් ජීවිතය ගැනත් පුතා ගැනත් සුහදව තොරතුරු විමසා කතා කළාම ඇය සන්සුන් වුණා. මේ මොතානා මට පැවසූ දේයි.”

“මා දෙස වෙනස් විදියකට බලන්න එපා. යම් කණ්ඩායමකගේ ග්‍රහණයකට හසුවී ඔවුන්ට අවශ්‍ය විදියට හසුරවනු ලැබූ තවත් කෙනෙක් පමණයි මම. ඇමෙරිකාවෙන් පිට වී ISIS කණ්ඩායමට එක් වන්න මා ගත් තීරණය වැරැදි බව දැන් මට වැටහෙනවා. මා සිටියේ අත්දැකීම් අඩු ආවේගවලට දුරදිග නොසිතා යටත් වන ළාබාල යොවුන් වියේ සිටි මා ඔවුන්ගේ ආගමික විශ්වාස පිළිගත්තා. ඔවුන්ගේ ක්‍රියා කලාපයන්හි බිහිසුණුභාවය මා අත්දුටුවේ පසුවයි. මට දැන් අවශ්‍ය මේ අන්තවාදීන්ගෙන් මිදී ඇමෙරිකාවට ගොස් මගේ පවුලේ අය හා එක්වන්නයි. මම බලාපොරොත්තු වනවා ඇමෙරිකාව මාව සතුරකු ලෙස නොසලකාවි කියා. ළාබාල වියේ සිදුවූ අත්වැරැද්දක් ලෙස මානුෂික ඇසකින් මේ තත්ත්වය දකීවි කියා.”

තමා ඇමෙරිකාවට පැමිණියහොත් සිරගත වීමට සහ දැඩි දඬුවම් විඳීමට සිදු වන බව මොතානා දනී. එය කොතෙක් කලකටදැයි කිසිවකු නොදනී. තමා තවදුරටත් ISIS මූලධර්ම නොඅදහන බවත් දැන් තමාට අවශ්‍ය සිරකූඩුවක් නොව මානසික උපදේශනයක් ලබා පුනරුත්ථාපනය වීමට බවත් ඇය පවසා ඇත.

ISIS (Islamic State of Iraq and Syria) යනු ඉරාකය, සිරියාව හා ඉන් ඔබ්බටත් විහිදී ගිය සුන්නි මුස්ලිම් මූලධර්මවාදීන්ගේ රාජ්‍යයක් බිහි කිරීමේ බලාපොරොත්තුවෙන් අවි ගත් කණ්ඩායමකි. ඔවුන් විසින් සිදු කළ මිනිසත්කමට නිගා දෙන අති බිහිසුණු අපරාධ හා මනුෂ්‍ය ඝාතන නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර ඇත. මුස්ලිම් අන්තවාදී ෂරියා නීතියට අනුව කටයුතු කරන මෙම සංවිධානය ඇෆ්ගනිස්තානය, පකිස්තානය ආදී රටවල් 18ක ක්‍රියාත්මක වේ. මෙම සංවිධානය 2015 වන විට 30,000 කට අධික සටන්කාමීන් සම්බන්ධව සිටියහ.

මොතානාට ඇමෙරිකානු පුරවැසිභාවය ඇති බැවින් ඇයට ඇමෙරිකාවට පැමිණීමට ඉඩ නොදීම අසාධාරණ බව ඇගේ පවුලේ අය පෙන්වා දෙයි. ඇමෙරිකානු රාජ්‍ය නිවේදනයකින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ ඇමෙරිකාවට සතුරු වූ මොතානාට නැවත ඇමෙරිකාවේ පස් පාගන්නට අවසර නැති බවය. ලොව පුරා මානව හිමිකම් සංවිධානවල අවධානයද මේ වෙත යොමුව ඇත. ලොව පුරා ජනතාව හා සියලු මාධ්‍ය වසර එකහමාරක දරුවකුගේ මවකද වූ මොතානාට කුමකින් කුමක් සිදු වේදැයි සීරුවෙන් බලා සිටී.

– වෛද්‍ය ලංකා සිරිවර්ධන –

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *