මදුෂ්ගේ වෙඩික්කරුගේ ගෙදරකින් ‘අදත්’ යුද උපකරණ හමුවේ

ප්‍රබල පාතාල කල්ලි නායක මාකඳුරේ මදුෂ්ගේ ප්‍රධානතම වෙඩික්කරුවකු ලෙස සැළකෙන යුද හමුදාවේ හිටපු ලාන්ස් කෝප්‍රල්වරයකුගේ කඹුරුපිටිය නිවසක් පරික්ෂා කිරීමේදී යුද හමුදා නිල ඇදුම් තොගයක් හා ටී 56 වර්ගයේ ජීව පතොරම් 21 ක් ඇතුළු යුද උපකරණ රැසක් අද (25) සොයා ගත් බව පොලිසිය පවසනවා.

එම දේපොල සමඟ නිවස හිමි අදාළ සැකකරුගේ පියා ද පොලීසිය සැකපිට ප්‍රශ්න කිරීම් සඳහා අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.

මාකඳුරේ මධූෂ්ගේ සමීපතම මිතුරකු ද වන සැකකාර ලාන්ස් කෝප්‍රල්වරයාගේ පන්නිපිටියේ නිවසේ තිබී රුපියල් කෝටි 700 මැණික් මංකොල්ලයට උපයෝගීකර ගත් බවට සැකකරන අත් විලංගුවක් ද පොලිසිය විසින් සොයා ගනු ලැබුවා.

යුද හමුදා නිල ඇඳුම් සමඟ යුද හමුදා හිස් වැසුම්, ලාංඡන, බොත්තම් ආදී දේපොල රැසක් ද හමු වී ඇති අතර අත්අඩංගුවට ගත් සැකකාර ලාන්ස් කෝප්‍රල්වරයාගේ 53 හැවිරිදි පියා හෙට (26) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මැණික් ගල් මංකොල්ලයට අමතරව ඉකුත් වසරේ නොවැම්බර් 4 වැනි දා හක්මන ප්‍රාදේශීය සභාවේ ශ්‍රීලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී ලොකුහකුරුගේ ශාන්ත මහතා ඝාතනය කිරීම හා කඹුරුපිටියේ ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම ආදී අපරාධ රැසකට අදාළ යුද හමුදා සාමාජිකයා සම්බන්ධ වී තිබෙන බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

ඒ සියල්ල සිදුකර ඇත්තේ මාකදුරේ මධූෂ් නැමැත්තාගේ මෙහෙයවීම මත බවද පොලීසිය සඳහන් කරයි.

සපුගස්කන්ද යුද හමුදා කඳවුරේ සේවය කාලයේ දී ඔහු මෙම අපරාධ වලට සම්බන්ධ වී තිබේ. ඔහුව අත්අඩංගුවට ගැනීමට සොයන විට රාජකාරියෙන් පලා ගොස් දැනට සැගවී සිටින බවද පොලීසිය සඳහන් කරයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *