මේ වන විට බොලිවුඩයේ මෙන්ම අන්තර්ජාලයේදී ජනප්‍රිය තරුවක් බවට පත් වී ඇති රනූ මොන්ඩාල්ව නොදන්නා කෙනෙක් නැහැ. දුම්රියපළකදී ගායනා කරන ලද ලතා මංගේෂ්කාර්ගේ ‘එක් ප්‍යාර් ක නග්මා හේ’ ගීතය හරහා තමයි රනූ මේ නොසිතූ ජනප්‍රියත්වය අත්කර ගන්නේ. ඇගේ ජනප්‍රියත්වයත් සමගම ලතා මංගේෂ්කාර් ඇය ගැන දරන අදහස් කුමක්දැයි දැනගන්නට ඉන්දීය සංගීත රසිකයින් සිටියේ නොඉවසිල්ලෙන්. මේ වෙද්දි ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු කරමින් ලතා මංගේෂ්කාර්ගෙන් රනූ මොන්ඩාල් ගැන අහන්නට ඉන්දීය මාධ්‍ය සමත් වෙලා තියනවා.
“මගේ නම සහ මගේ නිර්මාණයක් හින්දා කවුරුහරි කෙනෙක්ට හොඳක් වෙනවානම් ඒක මම මගේ වාසනාවක් හැටියට සළකනවා” කියලා රනූ මොන්ඩාල් ගැන ඇසූ විට ලතා මංගේෂ්කාර් පවසා තිබෙනවා.
නමුත් වෙනත් කෙනෙක්ගේ නිර්මාණ අනුකරණය කිරීම මගින් පමණක් ක්ෂේත්‍රය තුළ සාර්ථක ගමනක් යන්නට නොහැකි බව භාරත ගීත කෝකිලාවිය ප්‍රකාශ කරනවා. ඒ මගින් කෙටි කාලීන ජනප්‍රියත්වක් ලැබුණත්, දිගුකල් පැවැත්මක් නොමැති බවට ඇය පවසනවා. මෑත කාලීන ගායිකාවන් අතරින් සුනිධි චෞහාන් සහ ශ්‍රෙයා ගෝෂාල් ඇරෙන්නට තමන්ගේම අනන්‍යතාවයකින් ගී ගයන ගායිකාවන් තමන් එතරම් දැක නැතැයි ලතා මංගේෂ්කාර් තවදුරටත් පවසනවා.