ගෙළ වැළලා ගත් සැමියාගේ මරණය ඝාතනයක් – බිරිය ඇතුළු තුනක් පොපොච්ඡාරණය කරලා

අරලගංවිල පොලිස් වසමේ වෙහෙරගම,දේවගල ප‍්‍රදේශයේදී මීට මාස දෙක හමාරකට පමණ පෙර ගෙල වැලලාගෙන සිය නිවි නසාගත් බව කියන 43 හැවිරිදි දෙදරු පියෙකුගේ මරණය මිනීමැරුමක් බවට පොලීසිය සිදුකල විමර්ශන වලදී අනාවරණයවීමෙන් පසුව එම ඝාතනය සම්බන්‍ධයෙන් සැකපිට ඔහුගේ බිරිය, මස්සිනා සහ තවත් අයෙකු ඊයේ (22) අත් අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළා.

පොලොන්නරුව ජ්‍යෙෂඨ පොලිස් අධිකාරීවරයාට ලැබුණු පැමිණිල්ලකට අනුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සිදුකල විමර්ශනයකින් පසුව සැකකරුවන් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඝාතනයට ලක්වී ඇත්තේ අරලගංවිල,වෙහෙරගම,දේවගල,අංක 133 ලිපිනයේ පදිංචිව සිටි විතානගේ බන්දුල විතානගේ නැමැති 43 හැවිරිදි දෙදරු පියෙකු බව පොලීසිය සඳහන් කළා.

මරණකරු සහ ඔහුගේ බිරිය අතර පැවැති ආරවුලක් මෙම ඝාතනයට හේතුවී ඇති බව පොලීසිය සිදුකල විමර්ශන වලදී හෙළිව තිබෙනවා.

2020.03. 03 දින මේ පුද්ගලයා සිය නිවෙස තුල බාල්කයෙක එල්ලී සිය දිවි නසාගෙන සිටින බවට ඔහුගේ බිරිය විසින් එදින අරලගංවිල පොලීසියට දැනුම්දී තිබුණා.

මෙම මරණය සම්බන්‍ධව පශ්චාත් මරණ පරීක්‍ෂණය සිදුකල පොලොන්නරුව මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විවෘත තීන්දුවක් ලබා දෙමින් වැඩිදුර පරීක්‍ෂණ සඳහා සිරුරේ කොටස් රජයේ රස පරීක්‍ෂකවරයා වෙත යවා තිබුණා.

ඉන් පසුව මියගිය අයගේ වැඩිමහල් සහෝදරයෙකු විසින් තම මල්ලීගේ මරණය සැකකටයුතු බවට ප‍්‍රදේශයේ සහකාර පොලිස් අධිකාරීවරයා මගින් පොලොන්නරුව ජ්‍යෙෂඨ පොලිස් අධිකාරීවරයා වෙත පැමිණිලි කිරීමෙන් පසු එහි විමර්ශන කටයුතු කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට යොමුකර තිබෙනවා.

ඒ අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් එම ප‍්‍රදේශයට ගොස් පරීක්‍ෂණ ආරම්භ කර ඇති අතර එම විමර්ශන වලදී එය මිනීමැරුමක් බවට තොරතුරු හෙළිවී තිබුණා.

එම ඝාතනය සම්බන්‍ධයෙන් මරණකරුගේ බිරිය, ඇගේ සහෝදරයෙකු සහ ඔවුන්ගේ ඥාති සහෝදරයෙකුද පොලීසිය සැකපිට අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් ප‍්‍රශ්න කිරීමේදී මිනීමැරුම සිදුකල ආකාරය පිළිබඳ සියලූ තොරතුරු පාපෝච්චාරණය කලබව විමර්ශන සිදු කරන පොලිස් නිලධාරීහු ප‍්‍රකාශ කළා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *