ලාංකික පුහුණුව මත එක්දින ක්‍රිකට් වරම් දිනූ රටවල් දෙක

ලෝක ක්‍රිකට් ලීග් ශූරතාවලියේ පෙරැළිකාර ක්‍රිකට් කණ්ඩායම් දෙකක්වූ ඕමාන් ක්‍රිකට් පිල හා ඇමෙරිකා එක්සත් ජනපද ක්‍රිකට් පිල අන්තර් ජාතික එක්දින ක්‍රිකට් වරම් දිනා ගතතා.

ශ්‍රී ලංකාවේ හිටපු ටෙස්ට් නායක දුලිප් මෙන්ඩිස් මහතා ඕමාන් ක්‍රිකට් පුහුණුකරු ලෙස කටයුතු කිරීම හා හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක පුබුදු දිසානායක මහතා ඇමෙරිකා එක්සත් ජනපද ක්‍රිකට් පිලේ පුහුණුකරු ලෙස කටයුතු කිරීම මෙහි ඇති විශේෂත්වයයි.

මේ දෙදෙනා ඉතා කෙටි කලක් තුල ඕමානය හා ඇමෙරිකාව ඉහළට ඔසවා තැබීමට සමත්ව සිටිනවා.

ලෝක ක්‍රිකට් ලීග් ශූරතාවලියේ දෙවැනි කොටසේ අවසන් තරගයේදී නැමීබියාව වෙතින් ඕමානය පරාජය වුවද මේ තරගාවලියේ තරග 5කට සහභාගීවී එයින් තරග 4ක් දිනා ඕමානය ඉදිරියෙන් සිටියා.

ඔවුන් සහභාගීවූ තරග 5න් පරාජයට පත්වූයේ අවසන් මහා තරගයේදී පමණක්වීම විශේෂත්වයක්.

ඇමෙරිකාවද තරග 5කදී තරග තුනක් ජය ලබා ලකුණු සටහනේ තෙවැනි තැනට පත්වුණා.

ලකුණු සටහනේ ඇමෙරිකාවට පසුපසින් පැපුවා නිව්ගිනියාව, කැනඩාව හා හොංකොං වැනි රටවල් සිටියා.

අන්තර් ජාතික එක්දින ක්‍රිකට් වරම් දිනාගත් රටවල් අතරට පළමු වරට ලැයිස්තුගතවූ මෙම කණ්ඩායම් දෙක වසර 2023දී පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ වටයට එක්වීමේ අවස්ථා උදාකරගෙන තිබෙනවා.

එය නැගී එන ක්‍රිකට් රටවල් දෙකක් ලෙස ඕමාන් ක්‍රිකට් පිල හා ඇමෙරිකා එක්සත් ජනපද ක්‍රිකට් පිල ලැබූ විශාල ජයග්‍රහණයකි.

2023දී පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ වටයේ තරගාවලිය 2022දී පැවැත්වෙන අතර එයට ඕමානය, ඇමෙරිකා එක්සත් ජනපදය, ස්කොට්ලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, නේපාලය, නෙදර්ලන්තය, නැමීබියාව හා පැපුවා නිව්ගිනියා යන කණ්ඩායම් එක්වනවා.

අවසන් තරගයෙන් අනතුරුව ඕමාන් ක්‍රිකට් පුහුණුකරු දුලිප් මෙන්ඩිස් මහතා පැවැසූවේ මෙම තරගාවලියේ ප්‍රධාන අරමුණ වූයේ ඕමානයට අන්තර් ජාතික එක්දින ක්‍රිකට් වරම් දිනා ගැනීම බවයි. “අවසන් තරග දෙකේ අපේ දක්ෂතා ටිකක් අඩුවුණා. ඒකට නිදහසට කරුණු නෑ. නමුත් මේ තත්ත්වය ඕමාන් ක්‍රිකට්වල ඉහළම දෙයක්. අප කළ යුත්තේ මෙතැනින් ඉදිරියට යෑමයි“ මෙන්ඩිස් මහතා සඳහන් කළා.

හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක පුබුදු දිසානායක මහතා ඇමෙරිකා එක්සත් ජනපද ක්‍රිකට් පිලේ පුහුණුකරු ලෙස කටයුතු කිරීමට පෙර නේපාලයේ හා කැනඩාවේ ක්‍රිකට් පුහුණුකරු ලෙස කටයුතු කොට හසල අත්දැකීම් ඇත්තෙකි.

ඇමෙරිකාව තුල නැගී එන ක්‍රීඩකයින්ට මෙම ජයග්‍රහණය වඩාත් ආකර්ශනීය එකක් වනු ඇති බව පුබුදු දිසානායක මහතාගේ අදහසයි. “ අපේ ක්‍රීඩකයින් විශාල ලෙස මහන්සිවී පුහුණු වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස මෙම තත්ත්වය හදුන්වාදිය හැකියි. උසස් තත්ත්වයේ ක්‍රිකට් ක්‍රීඩාව ඇමෙරිකාව තුල පටන් අරන් අවුරුදු දෙකක් පමණ වෙනවා. අන්තර් ජාතික එක්දින ක්‍රිකට් වරම් දිනා ගැනීම පිළිබද අප විශාල සතුටක් ලබනවා“ දිසානායක මහතා සඳහන් කළා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *