ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයෝ ලබන සතියේ මැද මෙරටට

ඉකුත් වසරේ ඔක්තෝබර් 26 වැනිදා මෙරට ඇති වූ දේශපාලන අර්බුදය නිසා කල් දැමූ අමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 1500ක ණය මුදලේ 05 වැනි වාරිකය ලබාදීම පිළිබඳ යළි කරුණු සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයෝ ලබන සතියේ මැද මෙරටට පැමිණීමට නියමිතය.

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 1500ක ණය මුදලක් වසර 2016 – 2019 දක්වා කාලය තුළ ලබාදීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල එකඟතාව පළකොට තිබුණි.

ඒ අනුව වාරික 06ක් යටතේ එය ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සැලසුම්කොට තිබූ අතර, ඉන් වාරික 04ක් ඩොලර් මිලියන 759.9ක මුදලක් මෙරටට ලබා දී ඇති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මහතා ප්‍රකාශ කෙළේය.

“ඔක්තෝම්බර් 26 වැනිදා රටේ දේශපාලන අර්බුදයක් මතු වුණා. අපට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ මේ වාරිකය ගැන කතා කිරීමට නියමිත වෙලා තිබුණේ ඔක්තෝම්බර් 29 වැනිදා. එය ඒ ආකාරයට සිදුවුණේ නැහැ.” ලේකම්වරයා කීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය මේ වාරිකය ලබාදීම ගැන සාකච්ඡා කිරීමට පිළිගත හැකි රජයක් නොමැතිකමින් සාකච්ඡාවට පැමිණියේ නැහැ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව මත රටේ නැවත වතාවක් ඔවුන්ට පිළිගත හැකි රජයක් බිහි වුණා. එහි මුදල් හා ජනමාධ්‍ය ඇමැතිවරයා ලෙස මංගල සමරවීර මහතා නැවත පත් වුණා. ඉන් පසු නැවත වතාවක් අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකාව සමඟ අමෙරිකාවේ දී කරුණු සාකච්ඡා කළා. ලේකම්වරයා කරුණු සිහිපත් කෙළේය.

එහි දී ඔවුන් මේ ගැන කරුණු සාකච්ඡා කිරීමට පෙබරවාරි මැද මෙරටට එන බවට අප සමඟ ප්‍රකාශ කළා. ඒ පරිදිම ඔවුන් පෙබරවාරි 15 අපේ රටට පැමිණෙනවා යැයි ලේකම්වරයා කීය.

වසර 2016 ජුනි මාසයේ දී මේ විස්තීරණ ණය අපට ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කටයුතු කළා. මුල් වාරිකය අමෙරිකානු ඩොලර් මිලියන 168.10ක්. දෙවැන්න ඩොලර් මිලියන 162.56 ක්. තුන්වැන්න ඩොලර් මිලියන 167.2ක්. හතරවැන්න ඩොලර් මිලියන 251.4ක් ලෙස පිළිවෙළින් 2016 ජුනි, 2016 නොවැම්බර්, 2017 ජූලි හා 2017 දෙසැම්බර් මාසවල දී ලබා දුන්නා. අපට දැන් ලබා ගන්නට තිබෙන්නේ අවසන් වාරික දෙක බව ද මුදල් ලේකම්වරයා සඳහන් කෙළේය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *