ගිනි ගත් නැවට වෙනත් පිරිසක් ගොඩවේ – ලංකාවට වන්දියක්වත් නොලැබෙන ලකුණු

ගිනි ගැනීමට ලක්වූ එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාව බේරා ගැනීමට ලක් රජය ක්‍රියා කළ නිසා එය ත්‍යාගයක් ලෙස ලක් රජයට හිමිවිය යුතු බව වෙළෙඳ නාවික කපිතාන් ඉෂාරක පෙරේරා මහතා පවසනවා.

කෙසේ වෙතත් එම තීන්දුව ගත යුත්තේ ජාත්‍යන්තර නාවික සංවිධානය බවද හෙතෙම සඳහන් කළා.

ඔහු පෙන්වාදෙන්නේ මෙම නෞකාවේ කපිතාන්වරයා ඇතුළු කාර්ය මණ්ඩලය ජාත්‍යන්තර නීති කිසිවකට අනුකූල නොවූ බවයි. මෙම නෞකාව ගිනි ගැනීමට ලක්වෙද්දී කපිතාන්වරයා කිසිදු පණිවුඩයක් ලබාදී නොතිබුණු බවත් ඔවුන් නැවෙන් බැස ගිය බවද හෙතෙම කියා සිටියා.

මෙලෙස නැව අතහැර ගිය විට නැව ගිලී සහ පුපුරා විශාල විනාශයක් සිදුවීමට තිබූ බවත් එය ලෝකයට අවදානමක් බවද ඒ මහතා පැවසුවා.

ඔවුන්ගේ ජීවිත බේරා ගනිමින් නෞකාවේ ගින්න පාලනය කිරීම සඳහා මෙරට නාවික හමුදාව සහ ගුවන් හමුදාව කටයුතු කළ බවද හෙතෙම සඳහන් කළා.

“විශාල මුදලක් වියදම් කරමින් මෙවැනි මෙහෙයුමක් කළහොත් එම කණ්ඩායමට තමා නැව ත්‍යාගයක් විදිහට හිමි විය යුත්තේ .නමුත් වෙනත් කණ්ඩායමක් නැවට ගොඩ වුණා. මෙම මෙහෙයුමෙන් දැන් අපි ඈතට යනවා. මෙහි වන්දි හිමි වුණොත් හිමි වන්නේ නෞකාවට දැන් ඇතුළු වුණු කණ්ඩායමට. දැන් තියෙන්නේ මෙම නෞකාව අපේ දේශ සීමාවට රැගෙනවිත් නැව අත්අඩංගුවට ගන්න එක යැයිද හෙතෙම පැවැසීය.

නැතිනම් වෙන්නේ ඒ නෞකාවේ දත්ත වෙනස් කරලා අපේ රටින් අෑතට රැගෙන යන්න පුළුවන්. එසේ වුණහොත් අපිට වෙන්නේ කිසිවක් නැතිව උඩ බලන් ඉන්න එක යැයිද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

මේ අතර නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්නට අදාළව නැව් හිමියන් විසින් ඔවුන්ගේ වගකීම් පිළිබඳ රජයට හානි පූර්ණය කිරීම සම්බන්ධයෙන් ඊයේ නීතිපතිවරයා හමුවේ සාකච්ඡා කළ බව නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනි අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය ඊයේ (14දා) සඳහන් කළා.

නැව් හිමියන් නියෝජනය කරමින් නීතිඥවරුන් නීතිපතිවරයා සමඟ මෙම සාකච්ඡාව සඳහා සහභාගි වූ බව නිශාරා ජයරත්න මෙනෙවිය වැඩිදුරටත් සඳහන් කළා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *