මැද පෙරදිග යන්න බලාගෙන එන ඉන්දියානු සංචාරකයන් නිදැල්ලේ රට තුළට

සංචාරකයන්ව රට ඇතුළට රැගෙන එනවා නම් ඔවුන් රටින් පිටවනතුරු සෞඛ්‍ය අංශවල සහ ආරක්ෂක අංශවල දැඩි අධීක්ෂණයට ඔවුන් ලක්කළ යුතුව ඇතැයි ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ අවධාරණය කරයි.

ගුවන්තොටුපොළ සංචාරකයන් සඳහා විවෘත කිරීමෙන් පසු ඉකුත් දින කිහිපය තුළ සංචාරකයන් වශයෙන් විශාල ලෙස ඉන්දියානුවන් පැමිණෙන බව දක්නට ඇතැයි සඳහන් කළ උපුල් රෝහණ මහතා, එසේ පැමිණෙන ඉන්දියානුවන් රට තුළ දින 14ක් ගත කිරීමෙන් පසු මැදපෙරදිග රටවල් කරා ගමන් කරන බව දක්නට ඇතැයි සඳහන් කරයි.

එසේ පැමිණෙන ඉන්දියානු සංචාරකයන් රට තුළ නිරෝධායන ක්‍රියාවලියට ලක්කරන්නේ කවුරුන් විසින් ද යන ගැටලුව අප හමුවේ පවතින බවත් විශේෂයෙන් මේවා සෞඛ්‍ය අංශවලට දැනුම්දීමක් සිදු නොවන බවත් හෙතෙම පෙන්වා දෙයි.

මෙම සංචාරකයන් ඍජුව ම සංචාරක මණ්ඩලය හරහා ඔවුන්ගේ ඒජන්තවරුන් විසින් රැගෙන යන බවත් ඔවුන් දින කීයක් එහි ගත කරනවා ද යන්න සම්බන්ධව සෞඛ්‍ය අංශ කිසි ම දෙයක් නොදන්නා බවත් උපුල් රෝහණ මහතා පැවසීය.

මේ ආකාරයට අනාරක්ෂිතව හැසිරීම ඉදිරියේ මේ රට තුළ තවත් ව්‍යසනයකට අත වැනීමක් බව පෙනෙන්නට ඇතැයි ද හෙතෙම පැවසීය.

ජෛව බුබුළු වගේ ම මාර්ගෝපදේශ එකක්වත් බිම් මට්ටමෙන් ක්‍රියාත්මක වෙන්නේ නැති බවත් මෙවැනි සංකල්ප රට තුළ පැවති අවස්ථාවේදී ඩෙල්ටා ප්‍රභේදය පැතිර ගිය බවත් උපුල් රෝහණ මහතා අවධාරණය කළේය.

එමෙන් ම, මෙම සංකල්ප රට තුළ ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ඉදිරියේදී අප්‍රිකානු ප්‍රභේදයත් ලංකාවට ඇතුළුවීමේ දැඩි අවදානමක් පවතින බව ද හෙතෙම පෙන්වා දෙයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *