කුණු කසළ ග්‍රෑම් 500කට ප්‍රණීත උදෑසන ආහාර වේලක් දෙන ඉන්දියාවේ එකම හෝටලය මෙන්න

එය ඉන්දියාවේ මුදල් වෙනුවට කුණු ලබා දීමෙන් ආහාර වේලක් ලබා ගත හැකි ප්‍රථම හෝටලයයි. එකී ආපන ශාලව නම් කර ඇත්තේ ‘Garbage Cafe’ යනුවෙනි.

ඕනෑම ආකාරයක කුණු කසළ ග්‍රෑම් 500කට ඔවුහු ප්‍රණීත උදෑසන ආහාර වේලක් දෙන අතර ඉවතලන ප්ලාස්ටික් කිලෝග්‍රෑම් එකක් සඳහා සම්පූර්ණ දිනයකට අවශ්‍ය ආහාර ලබා ගත හැක. මෙම ආහාර ලබා දෙන්නේ සාමාන්‍ය ඡනතාවට නො‍වීම මෙහි ඇති සුවිශේෂත්වයයි. ඒවා ලබා දෙන්නේ ඉන්දියානු වීදිවල නිදා ගන්නා නිවෙස් අහිමි මිනිසුන් හටය. එමෙන්ම මේ ආපන ශාලාව ඉන්දියාවේ චතිස්ගාර්හි අම්බිකාපූර්හි පවත්වාගෙන යනු ලබන්නේ අම්බිකාර් ප්‍රාදේශිය සභාවේ පාලනයට යටත්වය. එයට අවශ්‍ය මූලික අරමුදල් සපයා ඇත්තේ අම්බිකාර්හි ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් වීම මෙහි ඇති විශේෂත්වයයි.

මෙම කතාවේ ප්‍රභවය 2003 කණ්ඩායමේ IAS නිලධාරියකු සහ සුර්ගුජා දිස්ත්‍රික්කයේ හිටපු බදු නිලධාරිනියක වූ රිතූ සයින්ගේය. 2014දී ඇය ප්‍රථම වරට අම්බිකාර් නගරයට පැමිණි විට ඇගේ මනසේ ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝඩි කියූ යම් අදහසක් සටහන්ව තිබිණි.

‘‘මහත්මා ගාන්ධිතුමාට අපට කළ හැකි හොඳම උපහාරය පිරිසුදු ඉන්දියාවක් නිර්මාණය කිරීමයි.” යනුවෙන් ඇය කියා තිබේ. එහෙත් ඇය අම්බිකාපූර්වලට ඇතුළුවන විටම තිබූ දුර්ගන්ධයෙන් ඇයට සිය නාසය ලේන්සුවෙන් වසාගෙන යෑමට සිදුවිය. “අම්බිකාපූර් වෙත සාදරයෙන් පිළිගනිමු” නමැති දැන්වීම් පුවරුව තිබුණේ ගඳ ගසමින් ඕජස් ගලා යන විවෘත කුණු කන්දක් උඩය. පසුව ඇයගේ දැඩි උත්සාහයත් පසුකාලීනව නගර පරිපාලනය විසින් ගනු ලැබූ පියවරත් අම්බිකාපූර්හි නිවාස අහිමි ජනතාවට නොමිලේ ආහාර ලබා දෙන මේ ආපන ශාලව නිර්මාණය කිරීමට සමත් විය.

140,000කට වඩා වැඩි ජනගහනයක් සහිත කුඩා නගරයක් වන අම්බිකාපූර් දිස්ත්‍රික් අගනුවරට ඇතුළු වූ පසු ඇය කළ පළමු කාර්ය වන්නේ කුණු කසළ වෙන් කිරීමේ මධ්‍යස්ථානයක් විවෘත කිරීමය. එයට අනුව කුණු වර්ග කර ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි, කාබනික හා ප්‍රතිචක්‍රීයකරණය කළ නොහැකි භාණ්ඩ වෙන් වෙන් වශයෙන් වෙන් කොට ඇසුරුම් කර ප්ලාස්ටික්, ලෝහ හා ඉලෙක්ට්‍රොනික ද්‍රව්‍ය මධ්‍යම භාණ්ඩාගාරයට යවා නිෂ්පාදකයන්ට ප්‍රතිචක්‍රීයකරණය සඳහා අමුද්‍රව්‍ය ලෙස විකුණනු ලැබීය. ඉතිරිව ඇති කාබනික අපද්‍රව්‍ය අවශේෂ ජීව වායු ඩයිජෙස්ටර් සහ කොම්පෝස්ට් සඳහා යොදා ගත්තේය. එය අතිශය සාර්ථක වූයේ ඇය සනීපාරක්ෂක කම්කරු ගැහැනුන් 500ක් වෘත්තීයමය ලෙස බඳවාගෙන ගෙන්ගෙට ගොස් මේ අපද්‍රව්‍ය එකතු කොට කුණු කසළ වෙන් කිරීමේ මධ්‍යස්ථානය වෙත ගෙනා බැවිනි. කුණු කසළ විකුණා පළමු අවුරුදු දෙක තුළ ඇය ඉන්දීය රුපියල් කෝටි දෙකක් භාණ්ඩාගාරයට එකතු කොට තිබිණි.

මෙම ක්‍රියාවලියේම දිගුවකි නිවාස අහිමි මිනිසුන් යොදා කුණු කසළ එකතු කිරීම. එම ව්‍යාපෘතියෙන් අගනා ප්‍රතිඵල රැසක් ‍රිතූ සයින් නගරයට පෙන්වා දී තිබේ. පළමු වැන්න නිවාස අහිමි, රැකියා අහිමි අම්බිකාපූර් ජනතාවට කුණු කසළ එකතු කර දී සුරක්ෂිත හා පෝෂණ ගුණයෙන් සපිරි ආහාර නොමිලේ ලබා ගත හැකිවීමයි. දෙවැන්න ඉංදියාවේ මහාමාර්ගවලට අවශ්‍ය ප්ලාස්ටික් නැවත නිෂ්පාදනයකින් තොරව නොකඩවා කුණු කසළ තුළින් සොයාගත හැකි වීමයි. (ඉන්දියාව මහා මාර්ග ඉදිකිරීමේදී අමුද්‍රව්‍යක් ලෙස ප්ලාස්ටික් යොදා ගනී.) තෙවැන්න නිවාස අහිමි වූ මිනිසුන් යොදා මේ එකතු කරන කුණුවලින් ලැබෙන ප්‍රතිලාභ තුළින්ම ඔවුන්ට නිවෙස් සාදා ගත හැකි ව්‍යාපෘතියක් දියත් කිරීමයි. ‍මේ වන විට 2019 අගෝස්තු 01 වැනි දින විවෘත කළ Garbage Cafe වෙතින් දිනපතා කුණු එකතු කර දී යැපෙන නිවාස අහිමි පවුල් සංඛ්‍යාව 100කි. 2019 ශ්‍රේණිගත කිරීම් යටතේ, අම්බිකාපූර් ඉන්දියාවේ දෙවැනි පිරිසුදු නගරය ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර එය මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් නගරයෙන් පසුව පසුගිය වසරට වඩා ස්ථාන 15කින් ඉහළ ස්ථානකට පත් වීමකි. එහි පූර්ණ ගෞරවය රිතූ සයින්ගේ නමැති ගැහැනියටය.

ඊට අමතරව මේ කුණුවලින් උපයා ගන්නා ලද මුදලින් නගරය අක්කර 15ක දැවැන්ත ගොඩකිරීමක් 2016 මැයි මාසයේදී සිදු කර එහි ගස්, වැල්, මල් වර්ග හා පොකුණුවලින් සලකුණු කළ ‘සනීපාරක්ෂක දැනුවත් කිරීමේ උද්‍යානයක්’ බවට පරිවර්තනය කර තිබුණි. එබැවින් මෙය කුණු එකතු කරන්නන්ට නොමිලේ ආහාර සපයන කතාවක් පමණක් නොවේ. ඉබාගාතේ රස්තියාදු වුණු නිවෙස් අහිමි මිනිසුන් යම් වෘත්තිකට පෙලඹවීමකි. නිවාස අහිමි මිනිසුන්ට නිවාස ලබා දීමේ වැඩපිළිවෙළකි. සංවර්ධනය වන රටකට නැවත නිෂ්පාදනය නොකර ප්ලාස්ටික් නිපදවීමේ උත්සාහයකි. එය නගරයක් ලස්සන කරන හැටි රටක ඉහළ නිලධාරීන්ගේ කැපවීම හා උත්සාහය පිළිබඳවද කතා කිරීමකි.

උපාලි ජයසිංහ