රටට එපා වූ රොෂේන්ට එංගලන්තයෙන් ලැබුණු ආරාධනය

ශ්‍රී ලංකා ජාතික ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ මැදපෙළ පිතිකරුවකු වන රොෂේන් සිල්වා එංගලන්තයේ ‘චොර්ලි’ ක්‍රීඩා සමාජය සමඟින් ගිවිසුමකට එළැඹී ඇති බව වාර්තා වනවා.

ඒ අනුව එංගලන්ත දේශීය ක්‍රිකට් තරගාවලියක් වන ‘2020 නොදර්න් ප්‍රිමියර් ලීග්’ (2020 Northern Premier League) ක්‍රිකට් තරගාවලියේදී ‘චොර්ලි’ ක්‍රීඩා සමාජය නියෝජනය කිරීමට රොෂේන්ට අවස්ථාව සැලසී තිබෙනවා.

එම තරගාවලිය එළැඹෙන අප්‍රේල් මස 11 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

මීට පෙරද අවස්ථා දෙකකදී රොෂේන් සිල්වා එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලි සඳහා සහභාගි වී තිබීමද විශේෂත්වයකි. ඒ අනුව ‘නෝර්ත් යෝක්ෂයර් ප්‍රිමියර් ලීග්’ තරගාවලියේදී ‘ග්‍රයිස්බර්ග්’ කණ්ඩායමත් ‘සවුත් ඩර්හැම් ප්‍රිමියර් ලීග්’ තරගාවලියේදී ‘කොලෙරයින්’ කණ්ඩායමද රොෂේන් සිල්වා නියෝජනය කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වා ඇති රොෂෙන් සිල්වා “2020 නොදර්න් ප්‍රිමියර් ලීග්’ ක්‍රිකට් තරගාවලියේදී ‘චොර්ලි’ ක්‍රීඩා සමාජයට සම්බන්ධ වීමට අවස්ථාවක් ලැබීම විශාල සතුටක්. ඔවුන් (‘චොර්ලි’ ක්‍රීඩා සමාජය) මා සමඟ ගිවිසුමකට එළැඹීමට බලාපොරොත්තු වන බව දැනගත් වහාම ගිවිසුම අස්සන් කිරීමට මම කැමැත්ත පළ කළා. මම ඉතා හොඳින් දන්නා හඳුනන ක්‍රීඩකයන් මෙම කණ්ඩායමට සම්බන්ධව ක්‍රීඩා කරන නිසා ඔවුන් මාව ඉතා උණුසුම් ලෙස පිළිගත්තා. ඒ අනුව මෙවර තරගවාරයේදී ඉතා හොඳින් ක්‍රීඩා කරමින් අනෙක් කණ්ඩායම්වලට අභියෝගයක් එල්ල කිරීම මගේ බලාපොරොත්තුවයි” යනුවෙන් පවසා තිබුණා.

මේ අතර ‘චොර්ලි’ ක්‍රීඩා සමාජ කණ්ඩායම් නායකයා විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබුණේ රොෂේන් සිල්වා වැනි අති දක්ෂ ක්‍රීඩකයකු තම කණ්ඩායමට එක් කර ගැනීමට හැකි වීම තුළින් තම කණ්ඩායමේ ශක්තිය දෙගුණ තෙගුණ වූ බවයි.

2017 වර්ෂයේදී ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමිකරගත් රොෂේන් ටෙස්ට් තරග 12කදී එක් ශතකයක් සමඟින් අර්ධ ශතක 5ක් වාර්තා කර තිබෙනවා.

එමෙන්ම පළමුපෙළ තරග 127කදී ශතක 23ක් සහ අර්ධ ශතක 35ක් වාර්තා කර ඇති රොෂේන් එහිදී ලකුණු 15000කට අධික සංඛ්‍යාවක් වාර්තා කරගෙන ඇත්තේ ඉනිමක සාමාන්‍යය 48.92ක අගයක් රඳවා ගනිමිනුයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *