කොරෝනා මරණ භූමදානයට හාරන ලදැයි සැක වළවල් ඉරණතිව් වැසියෝ වසා දමති (Photos)

කොරෝනා මළ සිරුරු භූමදානය කිරීමට ඉරණතිව් දූපතේ හාරන ලද බවට සැක සහිත වළවල් කිහිපයක් එහි ප්‍රදේශ වාසීන් පිරිසක් විසින් වසා දමනු ලැබ ඇතැයි අප වාර්තාකරු පැවසීය.

කොරෝනා ආසාදනයෙන් මිය යන පුද්ගලයන්ගේ මළ සිරුරු ඉරණතිව් දූපතේ භූමදානය කිරීමට රජය ගෙන ඇති තීරණයට එරෙහිව ප්‍රදේශ වාසීන්, කතෝලික පියතුමන්ලා ඇතුළු ස්වේච්ඡා සංවිධාන කිහිපයක් අද (3) විරෝධතාවක් ආරම්භ කළහ.

යුද්ධයෙන් පසුව 2017 වසරේදී ඉරණතිව් දූපතට නැවත පදිංචියට පැමිණි වැසියන්ගෙන් මේ වන විට පවුල් 108කට අයත් පුද්ගලයින් 335 දෙනෙකු ජීවත්ව සිටින බවටත් එහි සිටින කිසිදු වැසියෙකු මේ වනතුරුත් කොරෝනා ආසාදිත හෝ බලපෑමකට ලක්ව නොමැති අවස්ථාවක කොරෝනා මළ සිරුරු දූපතේ වළ දැමීම හේතුවෙන් ඉරණතිව් වැසියන් දැඩි අවදානමකට ලක් විය හැකි බැවින් එම මළ සිරුරු දූපතේ වළ දැමීමේ තීරණය වහාම නතර කළ යුතු බවටත් ප්‍රදේශවාසීහු අවධාරණය කරති.

තව ද කොරෝනා මරණ එම දූපතේ භූමදානය කිරීමට ගෙන ඇති තීරණයට එරෙහිව ඉරණතිව් ප්‍රදේශ වාසීන් යාපනයේ පහිටි මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට නියමිත බව ද වාර්තා වේ.

මේ අතර ඉරණතිව් දූපත යනු ධීවර කටයුතු සාර්ථකව සිදු කරන ප්‍රදේශයක් බැවින් එම ප්‍රදේශයේ කොරෝනා මරණ භූමදානයට ගත් තීරණය වෙනස් කරන්නැයි ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා ජනාධිපතිවරයාගෙන් සහ අග්‍රමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *