සුමිත්‍රා පීරිස්ව පන්නා දමා ලෙස්ටර් ජේම්ස් පීරිස් පදිංචිව සිටි නිවස බිමට සමතලා කරලා – මහින්ද රාජපක්‍ෂ

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා පදිංචිව සිටි නිවස කෞතුකාගාරයක් බවට පත්කරන බවට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඒ මහතාගේ මළ ගෙදරදී පොරොන්දුවක් දුන්නත් අද වන විට සුමිත්‍ පීරිස් මහත්මිය පන්නා දමා එම නිවස බිමට සමතලා කර ඇතැයි විපක්ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

සිනමා කර්මාන්තය පිළිබඳ ස්ථාවර නියෝග යටතේ ප්‍රකාශයක් කරමින් විපක්ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා මෙසේද කීය.

ගුණාත්මක බවින් යුත් උසස් මෙවන් චිත්‍රපට නිෂ්පාදනය සඳහා දැරීමට සිදුවන වියදම ඉතා අධිකය. අප රජය පැවැති සමාජයේ ක්‍රියාත්මක වූ සහන ණය යෝජනා ක්‍රම, මිලියන 35 ට වඩා වැඩි වියදමක් දරා නිෂ්පාදනය කළ චිත්‍රපට සඳහා ලබාදුන් බදු සහන, වත්මන් ආණ්ඩුව විසින් ඉවත් කර තිබීම නිෂ්පාදකයින් අධෛර්යමත් කිරීමට ප්‍රබලව බලපා ඇත.

චිත්‍රපට නිෂ්පාදනය සඳහා නව තාක්ෂණයෙන් යුත් චිත්‍රාගාර ආණ්ඩුව මැදිහත්ව වැඩි වැඩියෙන් ඉදිකළ යුතු යුගයක, තාක්ෂණික උපකරණ ආනයනය කිරීමේදී ලබාදී තිබූ බදු සහන ඉවත් කිරීමට ආණ්ඩුව කටයුතු කිරීම ද අනුමත කළ නොහැක.

රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානයේ, කාලයත් සමග සිදුවිය යුතු සංවර්ධනයන් පිළිබඳව ආණ්ඩුව සොයා බැලීමක් හෝ නොකරන්නේ මන්දැයි සිනමා ක්ෂේත්‍රයේ සාකච්ඡාවට භාජනය වී ඇති තවත් ගැටලූවකි.

මේ වන විට පෞද්ගලික නිෂ්පාදකයින් නිෂ්පාදනය කොට ප්‍රදර්ශන වාරය ලබා ගැනීමට නොහැකි වූ චිත්‍රපට සංඛ්‍යාව 80 කට වඩා ඉහළ ප්‍රමාණයකි. චිත්‍රපට සඳහා මුදල් ආයෝජනය කොට ප්‍රරදර්ශනය සඳහා වසර ගණනාවක් බලා සිටීමට නිෂ්පාදකවරුන්ට සිදුවීමෙන් ඔවුන් දැඩි මූල්‍ය දුෂ්කරතාවන්ට මුහුණ පා ඇති අතර මේ සම්බන්ධ ආණ්ඩුව විසින් කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට ඉදිරිපත්ව නැත.

මෙම චිත්‍රපට නිෂ්පාදනය සඳහා ලබාගත් ණය මුදලින් කොටසක් හෝ කපා හැර ඔවුන්ට යම් සහනයක් ලබාදීමට රජය මැදිහත් විය යුතු බව අපගේ විශ්වාසයයි.

චිත්‍රපට බෙදා හැරීම නැවත ජාතික චිත්‍රපට සංස්ථාවට පවරා ගැනීමට එරෙහිව නිකුත් කර ඇති වාරණය ඉවත්කොට බෙදාහැරීමේ ගැටලූ විසඳා ගැනීමට, ජාතික චිත්‍රපට සංස්ථාව මේ වන තෙක් අසමත්ව ඇත්තේ වත්මන් ආණ්ඩුව සිනමා කර්මාන්තය නොසලකා හැර ඇති නිසා දැයි ප්‍රශ්න කළ යුතුව ඇත.

සිනමා කර්මාන්තය වර්තමානයේ පත්ව ඇති තත්ත්වයෙන් සංවිධිත ලෙස යළි ගොඩනැගීමේ කාලය එළඹ ඇත. සංස්කෘතික කර්මාන්තයක් සහ කලාවක් ලෙස ලෝක සිනමාව අත්කරගෙන ඇති ජයග්‍රහණ හා කළමනාකරණ වැඩපිළිවෙළ අධ්‍යනය කළ යුතු අතර චිත්‍රපට අධ්‍යක්ෂවරුන්, නිෂ්පාදකවරුන්, රංගන ශිල්පීන්, කාර්මික ශිල්පීන්, සංගීතවේදීන්, ගායනවේදීන් ඇතුළු මේ හා සබැඳි සියලූ දෙනා සමග පුළුල් කතිකාවක් වහා රජය මැදිහත්ව ආරම්භ කළ යුතුය.

ශ්‍රී ලාංකේය සිනමාව සංවර්ධනය සඳහා සංකල්පීය වශයෙන් පුළුල් අදහසක් රජයට තිබිය යුතු බැව් අවධාරණය කරන අතර සිනමා කර්මාන්තයේ පහත දක්වන ගැටලූ නිරාකරණය සඳහා ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග මේ සභාවට පැහැදිලි කරන ලෙස අවධාරණය කරමු.

දශක 7 කට අධික ඉතිහාසයෙක් ඇති, වර්තමානයේ ජාතික චිත්‍රපට සංස්ථාව මගින් නියාමනය කරනු ලබන ශ්‍රී ලාංකේය සිනමා කර්මාන්තය අද වන විට පත්ව ඇති කනගාටුදායක තත්ත්වය පිළිබඳ මෙම ගරු සභාවේ අවධානය යොමු කරමි.

ශ්‍රී ලාංකීය සිනමාවේ ස්වර්ණමය යුගය 1963-1980 කාල පරිච්ජේදය බැව් අප සැමදෙනාගේ පිළිගැනීමයි.

දේශීය අනන්‍යතාවය රැකගනිමින්, පර්යේෂණාත්මක සිනමා කරණයක් රටට දායාද කිරීමට එදා සිනමාකරුවාට හැකිවිණි.

හුදු විනෝදාස්වාදනීය මාධ්‍යයකට ඔබ්බෙන්, කලාත්මක වූ සංස්කෘතික හා ස්වරූපයෙන් ඥාන භාවිතාවක් සේ එදා සිනමාව වැඩුනු ආකාරය අපට සිහිපත් කළ හැකිය.

සිනමා කර්මාන්තයේ අභිවෘද්ධිය සඳහා කැපවූ සිනමා වෘත්තිකයන් රැසක් වර්තමානයේ ද අප සතුවීම රටේම මහත් භාග්‍යයකි.

කෙසේ වෙතත් මේ වන විට ඔවුන් මුහුණ පා ඇති ගැටලූ රාශියකි.

ඒවා විසඳීමට වත්මන් ආණ්ඩුව අපොහොසත්වීම සමස්ත ජාතියේම අභාග්‍යයකි.

සිනමා කර්මාන්තය වර්තමානයේ වැටී ඇති තත්ත්වයෙන් ගොඩගැනීමට නම් ඊට අදාළ,

* යටිතල පහසුකම් සංවර්ධනය

* චිත්‍රාගාර කාර්මික සේවාවන් උසස් මට්ටමට දියුණු කිරීම.

* මානව සම්පත් සංවර්ධනය,

* චිත්‍රපට නියාමනය හා බෙදාහැරීම විධිමත් කිරීම,

* චිත්‍රපට නිෂ්පාදනය සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබාදීම,

* සිනමා ශිල්පීන්ගේ සුබසාධනය හා ඔවුන් ඇගයීමට ලක් කිරීම

ඇතුළු සිනමා කර්මාන්තයේ ප්‍රවර්ධනයට අත්‍යාවශ්‍ය කරුණු කෙරෙහි ආණ්ඩුව මීට වඩා වැඩි අවධානයක් යොමු කළ යුතුය.

පසුගිය කාලය තුළ නිර්මාණය කළ චිත්‍රපට කීපයක් ඉහළ ආදායමක් ලැබූ බව වාර්තා වුණි.

චිත්‍රපට නිෂ්පාදනය සඳහා පසුගිය රජය විසින් ලබාදී තිබූ සහන ණය යෝජනා ක්‍රමය සහ නිෂ්පාදන බදු සහන නැවත ලබාදීමට කටයුතු කරන්නේද?

චිත්‍රපට නිෂ්පාදනය සඳහා භාවිතා කරන නව තාක්ෂණික උපකරණ ආනයනය සඳහා ලබා දී තිබූ බදු සහන නැවත ලබාදීමට ආණ්ඩුව ක්‍රියා කරන්නේද?

රන්මිණිතැන්න සිනමා ගම්මානය සංවර්ධනය කිරීමෙ සැලසුම් කවරේද?

සිනමා කර්මාන්තයේ යටිතල පහසුකම් හා චිත්‍රාගාර කාර්මික සේවාවන් දියුණු කිරීමේ වැඩපිළිවෙළ කුමක්ද?

චිත්‍රපට බෙදාහැරීම හා මුදාහැරීම සම්බන්ධ වැඩපිළිවෙළ කුමක්ද? අලූතින් මුදාහරින දේශීය චිත්‍රපට සඳහා දිනකට දර්ශන වාර කීයක් ලබා දෙනවාද?

දැනට දර්ශන වාර ලබා ගැනීමට නොහැකි වී ඇති 80 කට අධික චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා අවස්ථාව ලබාදීමේ ආණ්ඩුවේ වැඩ පිළිවෙළ කුමක්ද? මෙම චිත්‍රපට නිෂ්පාදනයට ලබාගත් ණය හා ඊට අදාළ පොලී මුදල් ගෙවන අවස්ථාවේ රජය මැදිහත්ව යම් සහනයක් ලබා දෙන්නේද?

විදේශීය චිත්‍රපට ආනයනය, බෙදාහැරීම, මුදාහැරීම සහ මුදාහරින පිටපත් ප්‍රමාණය පිළිබඳව ආණ්ඩුවේ වගකීම කුමක්ද?

චිත්‍රපට කර්මාන්තයේ නියැළෙන අධ්‍යක්ෂවරුන්, රංගන ශිල්පීන්, කාර්මික ශිල්පීන්, සංගීතවේදීන්, ගායනවේදීන් ප්‍රවර්ධනය හා ඔවුන්ගේ සුබසාධන කටයුතු සඳහා රජයේ වැඩපිළිවෙළ කුමක්ද?

සිනමා ක්ෂේත්‍රයේ ශිල්පීන්ට ලබා දුන් වාහන ණය යෝජනා ක්‍රමය නැවත ක්‍රියාත්මක කරන්නේද?

යන්න පිළිබඳ මෙම ගරු සභාව දැනුවත් කළ යුතු යැයි යෝජනා කර සිටී.

තවද චිත්‍රපට කර්මාන්තයේ මතු දියුණුව සහ යහපැවැත්ම වෙනුවෙන් චිත්‍රපට සංරක්ෂණාගාරයක් ස්ථාපිත කිරීමට ද ශ්‍රී ලාංකේය සිනමාවට අනුපමේය මෙහෙයක් ඉටු කළ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා වෙනුවෙන් කෞතුකාගාරයක් ඉදිකිරීමට ද මෙම ගරු සභාව යෝජනා කරයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *