ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ වගකීමෙන් තොර පිතිකරණය හේතුවෙන් ඊයේ (22) පැවති දෙවන විස්සයි 20 තරගය ලකුණු 16 කින් ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුණා.
ඒ අනුව තරග 03 කින් සමන්විත විස්සයි 20 තරගාවලියේ තරග 2-0ක් ලෙස පෙරමුණ ගෙන ඇත්තේ දකුණු අප්‍රිකාවයි.
කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංගගේ ආරාධනයෙන් මුලින්ම පන්දුවට පහර දීමට පිටියට පිවිසි දකුණු අප්‍රිකාව සිය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 3ක් දැවී ලකුණු 180 ක් රැස් කර ගත්තේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින්.
දකුණු අප්‍රිකාවේ පළමු කඩුල්ල ලෙස ඒඩන් මාක්ක්‍රම් ලකුණු 3කට දවා ගැනීමට ඉසුරු උදාන සමත් වුයේ තරගයේ දෙවන පන්දු ඕවරයේදිය.
ඉන් පසුව පිටියට පිවිසි වැන් ඩේ ඩුසෙන් සහ රීසා හෙන්ඩ්‍රික්ස් ක්‍රමක් ක්‍රමයෙන් ආක්‍රමණශීලි පිතිහරඹයක නියැලුනේ දෙවන කඩුල්ල සඳහා වාර්තාගත ලකුණු 116ක සම්බන්ධතාවයක් පවත්වමින්ය.
පන්දු 46ක් තුලදී ලකුණු 65ක් ලබා ගෙන සිටි රීසා හෙන්ඩ්‍රික්ස් ගේ කඩුල්ල 14 වන පන්දු ඕවරයේදී දවා ගැනීමට ලසිත් මාලිංග සමත් විය. 16 වන පන්දු ඕවරයේදී වැන් ඩේ ඩුසෙන් දවා ගැනීමට අකිල ධනංජය සමත් වූවා.
ඉන් පසු නායක ජේ.පි. ඩුමිනි පන්දු 17 ක් තුලදී රැස් කල වේගවත් ලකුණු 33 ත් සමග දකුණු අප්‍රිකාව සිය පන්දුවාර 20 අවසානයේදී ලකුණු 180 ක් රැස් කිරීමට සමත් වුණා.
ලකුණු 181 ක ඉලක්කයක් හඹා යාමට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු දෙක ආරම්භක පන්දු වාරයේදීම දවා ගැනීමට ඩේල් ස්ටේන් සමත් වූ අතර තමන්ට ලබාදුන් අවස්ථාවෙන් කිසිදු ප්‍රයෝජනයක් ලබා නොගත් අවිශ්ක ප්‍රනාන්දු ලකුණු නොලබාම දැවී ගියා.
මේ අතර කුසල් මෙන්ඩිස් ලබා ගත්තේ ලකුණු 4ක් පමණයි.
දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ට එරෙහිව ආක්‍රමණශීලි පිතිකරණයක් දියත් කිරීමට උත්සහ කල නිරෝෂන් දික්වැල්ල ලකුණු 20 කට දැවී යන විට ශ්‍රී ලංකා කණ්ඩායම රැස් කර සිටියේ ලකුණු 31ක් පමණි. ඉන් පසුව පිටියට පිවිසි කමිදු මෙන්ඩිස් ලකුණු නොලබා දැවී ගිය අතර තිසර පෙරේරා ලකුණු 22ක් රැස් කර ගෙන සිටියේදී පිටියෙන් ඉවත් කිරීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් සමත් වුණා.
අවමන් සහගත පරාජයක් විදීමට ගිය ශ්‍රී ලංකා කණ්ඩායම එයින් බේරා ගැනීමේ වගකීම කරට ගත් ඉසුරු උදාන අනෙක් අන්තයෙන් කිසිදු සහයක් නොමැති වුවත් දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ට රිසි සේ පහර එල්ල කරමින් පන්දු 48 ක් තුලදී නොදැවී ලකුණු 84ක් රැස් කිරීමට සමත්වූයේ හයේ පහරවල් 6ක් සහ හතරේ පහරවල් 8ක් ද සමගින්ය.
ඉසුරු උදානගේ පිත්ත නොවන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සිය විස්සයි 20 තරග ඉතිහාසයේ දරුණුතම පරාජය අත්කර ගැනීමට ඉඩ තිබු අතර යලිත් වරක් ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ වගකීමෙන් තොර පිතිකරණය මෙම තරගයේදී ද දක්නට හැකි විය.