අතුරුදන්ව සිටි ජැක් මා මාස හතරකට පසු මතුවෙයි

චීනයේ අලිබාබා සමුහයේ නිර්මාතෘවරයා වන ජැක් මා පසුගිය වසරේ ඔක්තෝබර් මාසයෙන් පසුව ඊයේ (20දා) දිනයේ පළමු වරට ප්‍රසිද්ධ මාධ්‍ය හමුවට පැමිණි බව වාර්තා වෙයි.

මාස හතරකට ආසන්න කාලයක් කිසිදු ප්‍රධාන අවස්ථාවකට සහභාගි නොවුණු ජැක්මාගේ නිහැඩියාව සමාජ මාධ්‍ය තුළ විවිධ කටකතා නිර්මාණය කිරීමටද හේතු විය.

ඊයේ දිනයේදී පැවැත්වුණු චීනයේ දුෂ්කර පාසල් ගුරුවරුන් 100 දෙනෙකු අන්තර්ජාල වීඩියෝ තාක්ෂණය හරහා සම්බන්ධ කෙරෙන වැඩසටහනක් වෙත ජැක් මා මෙලෙස වීඩියෝ පණිවුඩයක් එක්කර තිබේ.

ජැක් මා පදනම මගින් සංවිධානය කර තිබූ මෙම අවස්ථාව වාර්ෂිකව පැවැත්වෙන්නකි. තත්පර 50ක කෙටි වීඩියෝවක් වූ මෙහිදී නාවික හමුදා සාමාජිකයන් අඳින ආකාරයේ සැහැල්ලු ඇඳුමක් ඇඳ සිටි බවත්, ඔහු සෘජුවම කැමරාව වෙත සිය අදහස් දැක්වීම සිදුකර ඇති බවත් පැවසෙයි. එහිදී ඔහු පසුපසින් අලු පැහැති පිඟන් ගඩොල් ඇල්ලූ බිත්තියක් දැකගත හැකි වූ බවත් පවසන චීන මාධ්‍ය, ඔහු කොතැනක සිට මෙසේ අත්තර්ජාලය හරහා එම ගුරුවරුන් ඇමතුවේද යන්න පැහැදිලි නැතැයිද සඳහන් කරයි.

ජැක් මා අවසන් වරට ප්‍රසිද්ධ මාධ්‍ය හමුවේ පෙනී සිටියේ පසුගිය වසරේ ඔක්තෝබර් මාසය අගදී ෂැංහයි නුවරදී පැවැත්වුණු හමුවකදීය. එහිදී ඔහු චීනයේ නීති සහ රෙගුලාසි දැඩි ලෙස විවේචනය කළේය. ඒ සඳහා චීන රජය විසින් ඔහුගේ Ant Group සමාගම මගින් සැලසුම් කර තිබූ ඩොලර් බිලියන 37ක මූලික හිමිකම් කොටස් නිකුතුව අත්හිටුවීමේ තීරණය පැවැති බව බොහෝ දෙනා සඳහන් කරයි. ඒ අනුව එහි බලපෑමක් ලෙස ජැක් මා මෙලෙස නිහඬව සිටින්නට ඇති බවට විවිධ අදහස් පල විය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *