පැය 07ක සැත්කමෙන් පසු ජැක්සන් කතා කරයි

හදිසි අනතුරකට මුහුණ දී කොළඹ ජාතික රෝහලේදී ශල්‍යකර්මයකට භාජනය කෙරුණු ප්‍රවීණ නළු ජැක්සන් ඇන්තනී මහතා සුවඅතට පත්වෙමින් ඇති බවත් ඔහු කතා කළ බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ මහතා පෙරේදා උදේ 9 සිට සවස 4 දක්වා පැය 7ක ශල්‍ය කර්මයකට බඳුන් කෙරෙණි. සාර්ථකව ශල්‍යකර්මය අවසන් කිරීමෙන් අනතරුව ජැක්සන් ඇන්තනි මහතා යථා තත්ත්වයට පත්වෙන තෙක් තව දුරටත් දැඩි සත්කාර ඒකකයේ වෛද්‍ය අධික්ෂණය යටතේ ප්‍රතිකාරවලට යොමු කර ඇත.

ශල්‍යකර්මයෙන් පසුව ස්වසන ආධාරක මැෂිමකට (වෙන්ටිලේටර්) යොමු කර තිබුණු ඒ මහතා ඊයේ දහවල් වන විට එම ස්වසන ආධාරක මැෂිමෙන් (වෙන්ටිලේටර්) ඉවත් කර සාමාන්‍ය ආකාරයට ඔක්සිජන් දීමේ කටයුතු ආරම්භ කළ බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය. ජැක්සන් ඇන්තනි මහතාගේ සුවදුක් සොයා බැලීම සඳහා ඒ මහතා රෝහල්ගත කළ අවස්ථාවේ සිට කළාකරුවන් ඇතුළු විශාල පිරිසක් රෝහලට පැමිණි ඇති අතර ඊයේ දිනයේද කලාකරුවන් කිහිප දෙනෙක් රෝහල් භූමියේ දැකගත හැකිවිය.

ගල්ගමුව හත්ථිකුච්චියේ චිත්‍රපට රූගත කිරීමකට සහභාගි වී අනුරාධපුරයේ පිහිටි නවාතැන් ගැනීමේ ස්ථානයට සිය වාහනයෙන් ගමන් කරමින් සිටියදී තලාව මොරගොඩ 07 කණුව ප්‍රදේශයේදී වාහනයේ අලියකු ගැටීම නිසා මෙම අනතුර සිදුවිය. සිද්ධිය වන අවස්ථාවේ එම කැබ් රථයේ තිදෙනෙක් ගමන් කරමින් සිට ඇත. තුවාලකරුවන් ඒ මොහොතේම අනුරාධපුර ශීක්ෂණ රෝහලට ඇතුළත් කිරිමට ප්‍රෙද්ශවාසීන් පියවර ගෙන තිබිණි. සිද්ධියෙන් සුළු තුවාල ලැබූ සහායක ඉරේෂ් ලක්මාල් ප්‍රතිකාරවලින් අනතුරුව රෝහලෙන් නික්ම ගොස් ඇති අතර අනෙක් තුවාලකරු වූ ජැක්සන් ඇන්තනී මහතාගේ සොයුරු සමන් ඇන්තනී අනුරාධපුර ශික්ෂණ රෝහලේදී ශල්‍ය කර්මයකට භාජනය කෙරිණි.

ජැක්සන් ඇන්තනි මහතාගේ තත්ත්වය යහපත් නොවූ නිසා ඒ මහතා කොළඹ ජාතික රෝහලට මාරු කර එවීමට රෝහල් බලධාරීන් පියවර ගෙන තිබිණි. ඒ අනුව පෙරේදා කොළඹ ජාතික රෝහලේ දී ජැක්සන් ඇන්තනි මහතා පැය 7ක ශල්‍යකර්මයකට ලක්කෙරිණි.

You May also like

Leave a Reply

Your email address will not be published.