මාරක රිය අනතුරක් සිදුකිරීම හේතුවෙන් සංගීතවේදී ජනනාත් වරකාගොඩ මීට දෙසතියකට පමණ පෙර අත්අඩංගුවට පත්වුණා.
ඔහුගේ මෝටර් රථයේ ගැටී මියගොස් තිබුණේ හැට දෙහැවිරිදි වියේ පසුවූ කාන්තාවක්.
අත්අඩංගුවට පත්ව දින කිහිපයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි ජනනාත් පසුගියදා (18) ඇප මත මුදාහැරුණා.
එම අනතුර සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කළේ තමන් බීමත්ව නොසිටි බවයි.
අනතුර සිද්ධ වෙච්ච විදිහ ගැන මට කියන්න තියෙන්නේ මෙච්චරයි. මගේ මෝටර් රථය කහ ඉර පසු කරනවාත් එක්කම වගේ තමයි මියගිය කාන්තාව දකුණු පැත්තෙන් දුවගෙන ඇවිත් වාහනයේ බඳේ වැදුණේ. මේ ගැන ආරංචිය පැතිර ගිය විදිහට, හරියටම කහ ඉර මතින්මත් නෙවෙයි අදාළ කාන්තාව පාර පැන්නේ. අනතුර සිද්ධ වෙද්දි මගේ මෝටර් රථයේ පිටුපස කොටස තමයි කහ ඉර මත තිබුණේ. මෝටර් රථයේ ගැටුණු කාන්තාව එම ස්ථානයේදීම මියගියා.
පසුගිය 10 වැනිදා මහියංගණයේ බිබිල පාරෙදි වල් අලියකුගේ පහර දීමකින් පුද්ගලයෙක් මියගියා. ඔහුගේ අවමංගල්‍යයට සහභාගි වෙලා එන ගමන් තමයි පාන්දර 5.30 ට විතර කිරිල්ලවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී මේ අනතුර සිදුවුණේ. වල් අලි ප්‍රහාරයෙන් මියගිය කෙනාගේ දියණිය මා සමග ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලේඛකත්වය සහ සන්නිවේදනය පිළිබඳ ඩිප්ලෝමාව හදාරණ ශිෂ්‍යාවක්. එම පාඨමාලාව හදාරණ ශිෂ්‍යයන් කිහිප දෙනකුත් ඒ වෙලාවේ මගේ මෝටර් රථයේ සිටියා.
මමවත්, මා සමග සිටි වෙනත් කිසිවකුවත් ඒ වෙලාවේ මත්පැන් පානය කරලා හිටියේ නැහැ. ඒ බව පොලීසිය කළ පරීක්ෂණවලිනුත් තහවුරු වුණා. මේ සිදුවීමෙන් පස්සේ ජනනාත් මේ දවස්වල හොඳටම බොනවා කියලත් සමහරු මා ගැන බොරු ආරංචි පතුරුවලා තියෙන බව මට ආරංචියි. මට තේරෙන්නේ නැහැ ඇයි අපේ රටේ මිනිස්සු තමන් හරියටම නොදන්න දේවල් ගැන මේ වගේ බොරු කතා හදන්නේ කියලා.