‘මතුවෙන්න’ විඳගන්න – ජය ශ්‍රී

ජය ශ්‍රී අයියා මලෝගේ අලුත් නිර්මාණයක් ගැන පහුගිය දවස්වල එක එක විදියේ කතා පැතිරුණා. ඩයමන්ඩ් වගේම රුවිත කතාත් මේ අලුත් නිර්මාණය ගැන පැතිරුණා. කොහොම වුණත්, අවසානයේදී ජය ශ්‍රී ලගේ මේ අලුත් නිර්මාණය ‘මතුවෙන්න – The Diamond Story’ නමින් වෙන ගීතයක් බව පහුගිය සතියේදී මේ ගීතය යූ ටියුබ් මාධ්‍යයෙන් එළිදක්වපු වෙලාවේ දැනගන්නට හැකිවුණා.

මේ ගීතය පුරාම තියෙන්නේ ඩයමන්ඩ් එකක් ගැන කතාවක්. සමන් අමුණුකන්දගේ පද හා රූප රචනයෙන් හැඩවුණු මේ ගීතයේ සංගීතය රැප්සිලා (සාරංග දිනේෂ්).
ලංකාවේ සතර දිග්භාගය පුරා ඇවිදලා කරපු මේ ගීතයේ ලංකාවේ ලස්සන තැන් දැකබලාගන්නටත් පුළුවන්‍. දික්වැල්ල, හිරිකැටිය, නිලාවැල්ල, නිකවැරටිය, යාපනය වගේ ලංකාවේ ආකර්ශණීය තැන් ගණනාවක මෙහි රූපගත කිරීම් කරලා තියෙනවා.

‘‘සැනසුම මෙතැනයි
දිවිය විඳින්නට
තවත් නැත කාලයක්
රුවිත අ‍තේ ඇති
ජවය හිතේ ඇති සොයා හරි මාවතක්
‍හෙට පූදින හිරු කිරණ පෙරටු කොට
තුරුම්පුවක් වෙන්න
අපේ ලොවේ යළි උදානයට ජය පාර කියාදෙන්න’’

ජය ශ්‍රී මේ ආරාධනය කරන්නේ අපේ තාරුණ්‍යයටයි‍.‍ ජවය තියෙන කාලයේ ‘තුරුම්පුවක්’ වී සතුටින් ඉන්නට ජය ශ්‍රී ලා මේ ගීතයෙන් ඔවුන්ට ආරාධනා කරනවා. දියමන්තියක් වගේ තමන්ගේ හැකියාවන් ඔප මට්ටම් කරගෙන මතුවෙන්නටයි ඔවුන් මේ ආරාධනය කරන්නේ.

මේ නිසාම ඩයමන්ඩ් සංකේතය ‘මතුවෙන්න’ ගීතය පුරාම දැකගන්නට හැකියි. මේ ඩයමන්ඩ් සංකේතය මොකක්ද කියන එක ජය ශ්‍රී රසිකයින්ටත් කුකුසක් මතුවෙලා තියෙන බව මේ ගීතයට ලැබිලා තියෙන ප්‍රතිචාර වලින් දැකගන්නට හැකියි.

අමතක නොකර විඳගන්න, ‘මතුවෙන්න’

 

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *