පාර්ලිමේන්තුව විසුරවන්න යෝජනාවක් – සම්මත වුණොත් සිදුවන දේ මෙන්න

පාර්ලිමේන්තුව විසුරුවා හැර පාර්ලිමේන්තු මැතිවරණයකට යෑමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ අදහස් කර ඇති බව වාර්තා වනවා.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර, නියමිත කාලයට ප්‍රථම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් ඇතුළු දේශපාලන පක්ෂ නායකයන් අතර එකඟතාවක් ඇතිවෙමින් තිබෙන බවද දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළා.

එසේ වුවහොත් නැවත ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයක් නොපැවැත්වෙන අතර, පාර්ලිමේන්තු මැතිවරණයකින් පසුව නාමමාත්‍රික ජනාධිපතිවරයෙන් පත්කිරීමක් සිදුවනවා.

එම යෝජනාව සඳහා ප්‍රධාන පක්ෂ නායකයන්ගේ වැඩි කැමැත්තක් ඇති බව වාර්තා වුවද, එම පක්ෂවල සාමාජිකයින් වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයක් ‘එයට විරුද්ධ වී ඇති අතර, පාර්ලිමේන්තු මැතිවරණයක් වෙනුවට මේ මොහොතේ ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු බවට ඔවුන්ගේ අදහස වී තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙම යෝජනාවට විරෝධය පළ කර ඇති අතර, එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කරගැනීමට අවස්ථාව නොදෙන බවට ප්‍රකාශ කර ඇති බවද වාර්තා අවනවා.

මේ දිනවල පාර්ලිමේන්තුවේ පැවැත්වෙන අයවැය විවාදය අවසන් වූ වහාම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට අපේක්ෂාවෙන් සිටින බව ජනතා විමුක්ති පෙරමුණ එම පක්ෂය සඳහන් කර තිබුණා.

එසේ වුවද වර්තමාන ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වීමට ආසන්න වී ඇති බැවින් ඔක්තෝබර් මාසයෙන් පසුව ජනාධිපතිවරණයන් පැවැත්වීමට නියමිතව ඇති අතර, එම ජනාධිපතිවරණය අනිවාර්යයෙන් පැවැත්විය යුතු බවට පාර්ලිමේන්තුවේ පක්ෂ නියෝජනය කරන පසුපෙළ මන්ත්‍රීවරුන් බහුතරයකගේ අදහස වී ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *