රොෂාන් ගුණතිලක සහ වසන්ත කරන්නාගොඩ ගෞරව නාමයෙන් පිදුම් ලැබිමේ නිල උත්සවය (Photos)

හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක මහතා මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් යන ගෞරව නාමයන්ගෙන් පිදුම් ලැබීමේ නිල උත්සවය අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

ඒ, කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේදීයි.

පසුගිය මස 06 වන දා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් නම් ගෞරවනීය නිලයට උසස් කර ඇති අතර හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක මහතා මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් නම් ගෞරවනීය නිලයට පත් කර තිබේ.

අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා 2005 වසරේ සැප්තැම්බර් 01 වන දා සිට 2009 වසරේ ජුලි 14 වන දා දක්වා නාවික හමුදාපති ධුරයේ කටයුතු කළේ ය.

ශාස්ත්‍රපති උපාධි දෙකක් හිමිකරගත් ප්‍රථම නාවික නිලධාරියා වූ කරන්නාගොඩ මහතා රාජකීය ජලතරණ ආයතනයේ සහ එක්සත් රාජධානියේ නාවික ආයතනයේ සාමාජිකයෙකි.

නාවික හමුදාපති තනතුරට පත්වීමට පෙර යුද සමයේ උතුරු නැගෙනහිර ඇතුළු නාවික විධාන 4 ක අඥාපතිවරයා ලෙස විශිෂ්ට සේවයක් ඉටු කළ ඔහු සිය අත්දැකීම් යොදා ගනිමින් නාවික හමුදාවේ දියුණුව වෙනුවෙන් විශිෂ්ට කැපවීමක් කළ නිලධාරියෙකි.

ඔහු සක්‍රීය සේවයේ සිටියදී අද්මිරාල් නිලය දැරූ මෙරට ප්‍රථම නාවික හමුදාපතිවරයා ය.

රණශූර, විශිෂ්ට සේවා විභූෂණය, උත්තම සේවා, පූර්ණ භූමි, රිවිරැස යුධබි‍මේදී ප්‍රකට කළ වීරත්වය හේතුවෙන් ඔහු ලැබූ පදක්කම් කිහිපයකි.

2006 ජුනි මස 12 වන දින ගුවන් හමුදාවේ දොළොස් වන ගුවන් හමුදාපති ධුරයට පත් වූ රොෂාන් ගුණතිලක මහතා 2011 පෙබරවාරි 27 වන දා විශ්‍රාම ගත්තේ ය.

හෙලිකොප්ටර් නියමුවෙකු ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළ ගුණතිලක මහතා අංක 03 සමුද්‍ර නිරීක්ෂණ බලඝනයේ හා අංක 04 හෙලිකොප්ටර් පක්ෂාංගයේ අණදෙන නිලධාරීයා ලෙස ද කලක් සේවය කළේ ය.

සාංග්‍රාමිකව හා මෙහෙයුම් කටයුතු ආශ්‍රිත ධුරයන් ගණනාවක් හෙබ වූ ඔහු ගුවන් හමුදාපති ධුරය දැරූ කාලසීමාව තුළ ගුවන් හමුදාව අංශ රැසකින් නවීකරණය කරමින් සාර්ථක ලෙස යුද්ධය අවසන් කිරීමට දායකත්වය ලබා දුන්නේ ය.

රණවික්‍රම, විශිෂ්ට සේවා විභූෂණය හා උත්තම සේවා ඔහු කළ සේවය ඇගයීමට ලක් කරමින් පිරිනැමූ පදක්කම් කිහිපයකි

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *