පළමු තරඟයේදී කිවියන්ගෙන් බැට කෑ කසුන් රාජිත ඉවතට?

තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා-නවසීලන්ත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය මහනුවර පල්ලෙකැලේ පිටියේදී අද (03දා) රාත්‍රි 7.00ට ආරම්භ වීමට නියමිතව ඇත.

පළමු තරගයේදී ලැබූ පරාජයේ වේදනාවත් කරපින්නාගෙන අද තරගයට මුහුණදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව ඇති අතරම තරගාවලියේ තවදුරටත් රැඳී සිටීමට නම් මෙම තරගය කෙසේ හෝ ජයගැනීමේ අභියෝගයටද ශ්‍රී ලංකා පිල මුහුණ දී සිටී.

2020 ලෝක කුසලාන තරගාවලිය සඳහා යහපත් මානසිකත්වයකින් යුතුව ශ්‍රී ලංකා කණ්ඩායම රැගෙන යෑම මාලිංගගේ අරමුණ වී ඇති හෙයින් ඔහුට අවශ්‍ය සහයෝගය කණ්ඩායමේ සෙසු සගයන් අද දිනයේදී ලබා දිය යුතු අතර, එසේ නොවුණහොත් විස්සයි-20 ලෝක කුසලානයට යන ගමන් මාර්ගය නිදහස්ව ගමන් කිරීමට අපහසු වනු ඇත.

යම් හෙයකින් අද තරගයෙන් ශ්‍රී ලංකාව පරාජය ලැබුවහොත් නවසීලන්තයට එරෙහිව මෙරටදී විස්සයි-20 තරගාවලියක් ශ්‍රී ලංකාව පරාජය ලබන්නේ වසර 6කට පසුව වීමද විශේෂත්වයකි.

කෙසේ වෙතත් පසුගියදා (01දා) පැවැති තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවට එක් වූ කුසල් මෙන්ඩිස් සඳහන් කරන්නේ අද තරගය ජයගෙන තරගාවලියට පිවිසීම තම කණ්ඩායමේ එකම අභිප්‍රාය බවය.

ඊළඟ තරගය අපිට පොඩි පීඩනයක් තිබුණත් තරගාවලියේ රැඳී සිටින්නට නම් අපි මේ තරගය ජයගන්නම ඕන. පසුගිය තරගයේදී අපි අවසන් පන්දුවාරය තෙක්ම රැඳී සිටියත් අපිට වැරදුණු පොඩි පොඩි දේවල් තිබුණා. ඒත් ඒවා හදාගෙන ඊළඟ තරගයට ලෑස්ති වෙන්න පුළුවන් වගේම ඒක දිනන්නත් අපිට පුළුවන්” යැයි පැවැසූ මෙන්ඩිස් පන්දු රැකීමේදී සිදුවූ අතපසුවීම් සම්බන්ධයෙන්ද අදහස් දැක්වීය.

“හැමදෙනා අතින්ම වැරැදි සිද්ධ වෙනවා. මමත් උඩපන්දු අතහැරලා තියෙනවා. වර්ල්ඩ් කප් එකට කලින් මම තමයි හොඳම පන්දු රකින්නා. ඒත් වර්ල්ඩ් කප් එකේදී මගෙන් උඩපන්දු තුනක් අතහැරුණා. අපිට විතරක් නොවෙයි ඕනෑම රටකට ඒ දේ වෙනවා. කැච් (උඩපන්දු) අතහැරෙන එක වළක්වන්න බැහැ. කවුරුවත් කැච් අතහරින්න බලාගෙන එන්නේ නැහැ. මැච් එක හැටියට එහෙම වෙන්න පුළුවන්”

එසේම කණ්ඩායමේ ආරම්භක පිතිකරු ස්ථානය ලැබීම සම්බන්ධයෙන් මෙන්ඩිස්ගේ අදහස වූයේ මෙවැන්නකි. “ඒක කණ්ඩායමේ අවශ්‍යතාවට කරපු දෙයක්. මාලිංග අයියත්, පුහුණුකරුවන් හා තේරීම් කමිටුව මට කතා කරලා මගෙන් මොනවද විය යුත්තේ කියන කාරණාව මට තේරුම් කරලා දුන්නා. මගේ පැත්තෙන් ඒක වුණා කියලා මට හිතෙනවා. ඒත් මේ ස්ථානයේ ක්‍රීඩා කිරීම මට විශේෂ දෙයක් නොවෙයි. මේ ස්ථානයේ සෙල්ලම් කරලා මම ලකුණු අතරට ඇවිල්ලත් තියෙනවා. නොම්මර 4 වෙනකම් මට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒත් ටී-20 වල ඕපන් කරන්න මම කැමැතියි.” යැයිද කීය.

තවද කණ්ඩායම පෙරට වඩා ශක්තිමත් කණ්ඩායමක් බවට පත්ව ඇති බව සඳහන් කළ මෙන්ඩිස් කණ්ඩායමේ ස්ථානයක් වෙන්කරගැනීමට දැඩි වෙහෙසක් දැරිය යුතු බවද පෙන්වා දුන්නේය. “විස්සයි-20 වර්ල්ඩ් කප් එකට කලින් තරග 18ක් විතර අපිට තියෙනවා. හැමෝටම හැමදාම එක විදියට සෙල්ලම් කරන්න බැරි නිසා ස්කොඩ් (සංචිතයේ) එකේ ඉන්න හැමෝටම චාන්ස් එකක් හම්බවේවි. ඉස්සර ලකුණු ගහපු ප්ලේයර්ස්ලත් දැන් එළියේ ඉන්නේ පෙරට වඩා දැන් ප්ලේයර්ස්ලා හොඳ මට්ටමක ඉන්න නිසයි. පොඩි මිස්ටේක් එකක් වුණොත් එළියට යන බව එයාලා දන්න නිසා ඔවුන්ගේ උපරිමය කරන්න උත්සාහ ගන්නවා. ඉන්ඩිවිඩුවල් ප්‍රෆෝම් කරනවා (තනි තනිව දක්‍ෂතා දක්වනවා) කියන්නේ ටීම් එකට උදවු වෙනවා කියන එකයි. ඒකෙන් මැච් දිනන චාන්ස් එක වැඩියි”

මේ අතර තුන් ඉරියව් ක්‍රීඩකයන් පස් දෙනකුද ඇතුළත් කරගනිමින් 01 වැනිදා පැවැති පළමු තරගයෙන් පරාජය ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයේදී කසුන් රාජිත වෙනුවට ලහිරු මධුසංක එක්කරගැනීමට ඉඩ ඇති බවද පැවැසේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *